උත්පත්ති 19:30-38

උත්පත්ති 19:30-38 SCV

ලොත්, සොවර්හි විසීමට භය වූයෙන්, සොවර් අතහැර, තම දියණියන් දෙදෙනා ද කැටිව කඳුකරයට ගොස්, පදිංචි විය. තම දියණියන් දෙදෙනා සමඟ ඔහු වාසය කළේ ගල් ලෙනක ය. දිනක් වැඩිමල් තැනැත්තී, බාල තැනැත්තිය අමතා, “අපේ පියා දැන් මහලුයි. ලෝක සිරිතට අනුව අප හා එක් වන්නට පිරිමියකු මේ පළාතේ නැහැ. එන්න, අපි අපේ පියාට මිදි යුෂ පොවා, මත්කර, ඔහු හා සයනය කරමු. එසේ කොට, අපේ පියා මගින් අපේ වංශය රැක ගනිමු” යි කීවා ය. එදින රැයේ ඔවුහු ඔවුන්ගේ පියාට මිදි යුෂ පෙවූහ. පසුව, වැඩිමල් තැනැත්තී, ගොස්, ඔහු හා සයනය කළා ය. එහෙත්, කවර විටෙක ඇය තමා හා සයනය කළා ද, කවර විටෙක ඇය නැගිට ගියාදැයි යන කිසිවක් ඔහු නො දත්තේ ය. ඊළඟ දවසේ බාල දියණිය ඇමතූ වැඩිමල් තැනැත්තී, “ඊයේ රෑ මගේ පියා සමඟ මා සයනය කළා. අද රෑත් අපි ඔහුට මිදි යුෂ පොවමු. ඔබ ගොස්, ඔහු හා සයනය කරන්න. එවිට අපේ පියා මගින් අපේ වංශය රැක ගන්නට අපට පුළුවනැ” යි කීවා ය. ඒ රැයේ ද ඔවුහු තම පියාට මිදි යුෂ පෙවූහ. බාල දියණිය ගොස්, ඔහු හා සයනය කළා ය. මෙවර ද කවර විටෙක ඇය තමා හා සයනය කළා ද, කවර විටෙක ඇය නැගිට ගියාදැයි යන කිසිවක් ඔහු නො දත්තේ ය. මෙසේ ලොත්ගේ දූවරු දෙදෙන ඔවුන්ගේ පියා නිසා ගැබ් ගත්හ. වැඩිමල් දියණිය පුතකු ලැබ, ඔහුට මෝවබ් යන නම තැබුවා ය. වර්තමාන මෝවබ්වරුන්ගේ ආදි පියා මොහු ය. බාල දියණිය ද පුතකු ලැබ ඔහුට බෙන්-අම්මී යන නම තැබුවා ය. වර්තමාන අම්මොන්වරුන්ගේ ආදි පියා ඔහු ය.