උත්පත්ති 19:1-17
උත්පත්ති 19:1-17 SCV
දේව දූතයින් දෙදෙන, සවස සොදොමට පැමිණි කල, ලොත් නගර දොරටුවෙහි හිඳ හුන්නේ ය. ලොත් ඔවුන් දුටු කල, ඔවුන් හමු වන්නට නැගිට, මුහුණ බිමට නමා, ආචාර කළේ ය. “අහන්න, මා ස්වාමිවරුනි, ඔබේ සේවක මගේ නිවස දෙසට හැරෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබේ පා සෝදාගෙන, ඔබට රැය ගත කළ හැකියි. පසුව උදෙන් ම නැගිට, ඔබට ඔබේ ගමන යා හැකි යැ” යි පැවසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “නැහැ, අප එළිමහන් පිටියේ රැය ගත කරනවා” යි කීහ. එහෙත් ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔහු සමඟ ආ ඔවුහු ඔහුගේ නිවසට පිවිසියහ. ඔහු මුහුන් නුමුසු රොටි පුලුස්සා, ඔවුනට භෝජන පිළියෙල කළෙන්, ඔවුහු ආහාර ගත්හ. ඔවුන් නින්දට යෑමට පෙර, සොදොම් පුර හැම පෙදෙසක ම තරුණ හා මහලු පිරිමි හැම දෙනෙක් ඒ නිවස වට කළහ. ඔවුහු ලොත්ට හඬ ගසමින්, “කෝ, කොහේ ද අද රෑ නුඹ වෙත ආ මිනිසුන්? අපට ඔවුන් සමඟ රති කෙළියේ යෙදෙන්නට ඔවුන් අප වෙත පිටතට ගෙනෙනු” යි කීහ. ලොත් ඔවුන් හමුවට පිටතට අවුත්, තමාට පිටුපසින් දොර වසා, ඔවුන් අමතමින්, “එපා, මගේ සහෝදරයිනි, ඔය දුෂ්ටකම කරන්න එපා. මේ අහන්න! දූවරු දෙදෙනෙක් මට ඉන්නවා. ඔවුන් කන්‍යාවන්. මම ඔවුන් නුඹලා වෙත ගෙනෙන්නම්. කැමති දෙයක් ඔවුන්ට කරන්නට නුඹලාට පුළුවනි. මේ මිනිසුන්ට නම් කිසිවක් කරන්න එපා. මන්ද ඔවුන් මගේ වහල යට රැකවරණයට පැමිණි අය යැ” යි කීවේ ය. එහෙත්, “අහකට පලයන්” යි පිළිතුරු දුන් ඔවුහු, “මේ මිනිහා මෙහි ආවේ පිටස්තරයකු ලෙසයි. දැන්! නඩුකාරයෙක් වෙන්නයි හදන්නේ. ඔවුන්ටත් වඩා තදබල ලෙස නුඹට කරන්නෙමු” යි කීහ. මෙසේ ඔවුහු ලොත් තෙරපවමින්, දොර බිඳින පිණිස පෙරට ඇදෙන්නට වූහ. එහෙත් ඇතුළත සිටි දෙදෙන අත් දිගු කර, ලොත් ඇතුළට ඇදගෙන, දොර වසා දැමූහ. ඉන්පසු ඔවුහු දෙදෙන නිවසේ දොර අසල සිටි තරුණ, මහලු යන මිනිසුනට දොර සොයාගත නො හැකි වන සේ ඔවුන් අන්ධ කළහ. ඉන්පසු ලොත් ඇමතූ ඔවුහු දෙදෙන, “කවුරු ද ඔබට මෙහි සිටින්නේ? බෑණාවරුන්, පුතුන්, දූවරුන් හෝ මේ නගරයේ සිටින ඔබේ පවුලට අයත් අන් කවුරුන් වුවත් ඔවුන් මෙතැනින් ඉවතට ගෙන යන්න. මේ නගරය විනාශ කරන්නටයි අප යන්නේ. මේ නගර ජනයාට එරෙහිව ස්වාමින්වහන්සේ වෙත නැගෙන කෑ මොර ගැසීම අතිශයෙන් බරපතළයි. එබැවින් මෙය විනාශ කර දමන්නට උන්වහන්සේ අප එවුවා” යි කීහ. එබැවින් ලොත් තම දූවරුනට විවාහ වී සිටි තම බෑණාවරුන් හමුවට පිටත් ව ගොස්, “ඉක්මන් කරන්න. මෙතැනින් ඉවත් වෙන්න; ස්වාමින්වහන්සේ මේ නගරය විනාශ කරන්නට යනවා” යි කීවේ ය. එහෙත් ඔහුගේ බෑණාවරුන්ට පෙනී ගියේ, ඔහු විහිළුවක් කරන සෙයකි. උදයට පහන් වෙත් ම, දේව දූතයෝ ලොත් උනන්දු කරවමින්, “ඉක්මනට, මෙහි සිටින ඔබේ බිරිඳත්, ඔබේ දූවරුන් දෙදෙනාත් ගෙන යන්න. නැතහොත්, නගරයට දඬුවම් දෙන කල, ඔබත් වැනසී යාවි” යි කීහ. එහෙත් ලොත් සුනංගු වනු දුටු ඒ මිනිස්සු, ඔහු වෙත වූ ස්වාමින්වහන්සේගේ දයාව නිසා ලොත්ගේ, ඔහුගේ බිරිඳගේ හා ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්වලින් ඇදගෙන ගොස්, නගරයෙන් පිටතට සුරැකි ව ඔවුන් ඇරලූහ. එසේ පිටතට ඔවුන් ඇරලූ විගස ඔවුන් ඇමතූ ඒ දෙදෙනාගෙන් කෙනෙක්, “ජීවිත බේරා ගන්නට පලා දුවන්න; පසු පස හැරී බලන්න එපා; තැන්නේ කිසි තැනක නවතින්න එපා. කඳුකරයට ම පලා යන්න; නැතහොත් ඔබ වැනසී යාවි” යි පැවසී ය.

