ඒ මිනිස්සු එතැනින් හැරී, සොදොම දෙසට ගියහ. එහෙත් ආබ්‍රහම් ස්වාමින්වහන්සේ ඉදිරියේ නැවතී සිටියේ ය. එවිට ආබ්‍රහම් උන්වහන්සේට ළං වී, “ඔබවහන්සේ දුෂ්ටයින් සමඟ ධර්මිෂ්ඨයින් විනාශ කර දමනවා ද? ඇතැම් විට ඒ නගරයේ ධර්මිෂ්ඨයින් පනස් දෙනෙක් සිටිය හැකියි. ඒ ධර්මිෂ්ඨයින් පනස් දෙනා නිසාවත් ඒ නගරය ඉතිරි නො කොට ඔබවහන්සේ සැබවින් ම එය වනසා දමනවා ද? එවැන්නක් ඔබගෙන් සිදු නො වේවා! දුෂ්ටයින් සමඟ ධර්මිෂ්ඨයින් වනසා දැමීමක්, ධර්මිෂ්ඨයින්ට හා දුෂ්ටයින්ට එක ලෙස සැලකීමක් ඔබගෙන් සිදු නො වේවා! මුළු පොළෝ තලයේ ම විනිශ්චයකරුවාණෝ යුක්ති සහගත ව ක්‍රියා කරන සේක් නො වේ දැ?” යි පැවසී ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “සොදොම් පුරය තුළ ධර්මිෂ්ඨයින් පනස් දෙනෙක් මට හමු වුවහොත්, ඔවුන් වෙනුවෙන් මම ඒ මුළු ප්‍රදේශය ම ඉතිරි කරන්නෙමි” යි කී සේක. එවිට ආබ්‍රහම් යළි කතා කරමින්, “ඇත්තෙන් ම අළු හා දූලි පමණක් වන මම, ස්වාමින්ට කතා කරන්නට තරම් එඩිතර වුණෙමි. ඇතැම් විට ධර්මිෂ්ඨයින් පනස් දෙනාගෙන් පස් දෙනකු අඩු වන්නට පුළුවන. එවිට අඩු වූ ඒ පස්දෙනා නිසා ඔබවහන්සේ ඒ මුළු පුරය ම විනාශ කරනවා දැ?” යි ඇසී ය. “හතළිස්පස් දෙනකු එහිදී මට හමු වූවොත්, මා එය විනාශ කරන්නේ නැතැ” යි උන්වහන්සේ පැවසූ සේක. ඔහු යළි උන්වහන්සේ අමතමින්, “ඇතැම් විට හතළිස් දෙනකු එහිදී හමු වන්නට පුළුවනැ” යි කීවේ ය. “ඒ හතළිස් දෙනා නිසා, එය විනාශ කරන්නේ නැතැ” යි උන්වහන්සේ පැවසූ සේක. එවිට ආබ්‍රහම්, “අහෝ, ස්වාමින් කෝප නො වී, කතා කරන්නට මට අවසර දුන මැනවි. ඇතැම් විට තිස්දෙනකු පමණක් එහි සිටිය හැකි යැ” යි පැවසී ය. “තිස්දෙනකු එහි මට හමු වුණොත්, මම එසේ නො කරන්නෙමි” යි උන්වහන්සේ පැවසූ සේක. ඔහු යළි කතා කරමින්, “බලන්න! දැං ස්වාමින්ට කතා කරන්නට තරම් මම එඩිතර වුණෙමි. ඇතැම් විට විසිදෙනකු එහි සිටිය හැකි වෙතැ” යි කීවේ ය. “ඒ විසිදෙනා නිසා, මම එය විනාශ නො කරමි” යි උන්වහන්සේ පැවසූ සේක. එවිට ඔහු, “අහෝ, ස්වාමින් කෝප නො වන සේක්වා. තව එක් වරක් පමණක් කතා කරන්නට ඉඩ දුන මැනවි. ඇතැම් විට දහ දෙනකු එහි සිටිය හැකි වෙතැ” යි කීවේ ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ දහ දෙනා නිසා, මම එය විනාශ නො කරන්නෙමි” යි කී සේක. ආබ්‍රහම් සමඟ කතා කර නිම වූ පසු, ස්වාමින්වහන්සේ නික්ම ගිය සේක. ආබ්‍රහම් ආපසු ගෙදර ගියේ ය.
උත්පත්ති 18 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 18:22-33
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ