උත්පත්ති 17:15-27

උත්පත්ති 17:15-27 SCV

දෙවියන්වහන්සේ තවදුරටත් ආබ්‍රහම් ඇමතූ සේක්, “සාරයි ගැන කියතහොත්, ඔබ තවදුරටත් ඔබේ භාර්යාව, සාරයි නමින් අමතන්නේ නැත. ඇගේ නම මින් මතු සාරා වනු ඇත. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. නියතයෙන් ම ඇගෙන් ඔබට පුතකු ලබා දෙන්නෙමි. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. ඈ, ජාතීනට මව වන්නී ය. ජනතාවගේ රජුන් ඇය වෙතින් බිහිවනු ඇතැ” යි පැවසූ සේක. ආබ්‍රහම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. ඔහුට සිනා ගියේ ය. “අවුරුදු සීයක් වයස්ගත කෙනකුට දාව, පුතකු බිහි වෙයි ද? සාරා, ඇගේ වයස අනූවේදී දරුවකු ලබන්නේ දැ?” යි තමාට ම කියා ගත්තේ ය. ආබ්‍රහම් දෙවියන්වහන්සේ අමතමින්, “අහෝ, ඔබවහන්සේගේ ආශිර්වාද යටතේ ඉෂ්මායෙල් ජීවත් වේවා!” යි පැවසී ය. එවිට දෙවියන්වහන්සේ, “සැබවින් ම ඔබේ බිරිඳ සාරා, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඊසාක් නමින් ඔබ ඔහු ඇමතිය යුතු ය. ඔහු සමඟ මගේ ගිවිසුම සදාතනික ගිවිසුමක් කොට මා පිහිටුවන්නේ, ඔහුගෙන් පසු ඔහුගේ දරු පරපුර සඳහා ය. ඉෂ්මායෙල් ගැනත් මම ඔබට කන් දුනිමි. මම ඔහු සඵල වන්නට සලසා, ගණනින් ඔහු බොහෝ වන්නට සලසමි. ඔහු අධිපතීන් දොළොස් දෙනකුගේ පියා වනු ඇත. විශාල ජාතියක් බවට මම ඔහු පත් කරන්නෙමි. එහෙත් මගේ ගිවිසුම මා පිහිටුවනු ලබන්නේ, ලබන වසරේ මේ කාලයට සාරා විසින් ඔබට බිහි කරන ඊසාක් සමඟිනි” යි පැවසූ සේක. මෙසේ ආබ්‍රහම් සමඟ කතාව නිම වූ පසු, දෙවියන්වහන්සේ ඔහු වෙතින් නැගී ගිය සේක. ඒ දවසේ ම ආබ්‍රහම් තම පුත් ඉෂ්මායෙල් ද තම නිවසේ උපන්නා වූත්, තමා විසින් මිල දී ගෙන තිබුණා වූත් සියල්ලන් ද යන වශයෙන් ඔහුගේ ගෘහවාසී සියලු පිරිමින් කැඳවා, දෙවියන්වහන්සේ ඔහුට පැවසූ පරිදි, ඔවුන්ගේ ලිංගාග්‍ර චර්මය ඡේද්‍ය කළේ ය. චර්මඡේද ලබන කල, ආබ්‍රහම්ගේ වයස අවුරුදු අනූනවයකි. චර්මඡේද ලබන කල, ඔහුගේ පුත් ඉෂ්මායෙල් අවුරුදු දහතුනකි. ඒ එක ම දවසේ ආබ්‍රහම් ද ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද චර්මඡේද ලදහ. මෙසේ ආබ්‍රහම්ගේ නිවසේ ඉපදුණු හෝ ඔහු විසින් විදෙස්සකුගෙන් මිල දී ගන්නා ලද හෝ සේවකයින් ඇතුළු ව ඔහුගේ ගෘහවාසී සියලු පිරිමි ඔහු සමඟ චර්මඡේද ලදහ.

උත්පත්ති 17:15-27 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය