ආබ්‍රම් අනූනව වන වියට පත් කල, ස්වාමින්වහන්සේ ඔහුට පෙනී, “මම සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ය. මා අබියස හැසිරෙමින් නිර්දෝෂී ව සිටින්න; එසේ මා හා ඔබ අතර මගේ ගිවිසුම මම ස්ථිර කරන්නෙමි. ගණනින් ඔබ බහුල ලෙස වැඩි කරන්නෙමි” යි කී සේක.
ආබ්‍රම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. දෙවියන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “මෙන්න! මා ඔබ සමඟ කරන මගේ ගිවිසුම මෙයයි; බොහෝ ජාතීනට ඔබ පියා වනු ඇත. තවදුරටත් ඔබ ආබ්‍රම් යනුවෙන් අමතනු ලබන්නේ නැත. ඔබගේ නම ආබ්‍රහම් වන්නේ ය. මන්ද, බොහෝ ජාතීන්ගේ පියා බවට මම ඔබ පත් කළෙමි. මම, ඔබ අතිශයෙන් සඵල කරන්නෙමි. ඔබෙන් ජාතීන් ඇති කරන්නෙමි. රජවරුන් ඔබගෙන් පැවත එනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන පිණිස ද ඔබෙන් පසු ඔබේ දරු පරපුරේ දෙවියන්වහන්සේ වන පිණිස ද මා හා ඔබ අතරේත්, ඔබෙන් පසු මා හා ඔබේ දරු පරපුර අතරේත් පරපුරින් පරපුරට සදාතනික ගිවිසුමක් කොට, මගේ ගිවිසුම පිහිටු වන්නෙමි. පිටදේශක්කරුවකු සේ ඔබ දැන් වෙසෙන දේශය, මේ මුළු කානාන් දේශය, මම ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සදාතනික උරුමයක් කොට දෙන්නෙමි. මම ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි” යි පැවසූ සේක.
දෙවියන්වහන්සේ ඉන්පසු ආබ්‍රහම් ඇමතූ සේක්, “ඔබ ගැන නම්, ඔබත්, ඔබෙන් පසු පැවත එන ඔබේ දරු පරපුරත්, පරපුරින් පරපුරට මගේ ගිවිසුම රක්ෂා කළ යුතුයි. ඔබ සමඟත්, ඔබගෙන් පසු ඔබෙන් පැවත එන්නන් සමඟත් වන මගේ ගිවිසුම, ඔබ විසින් පිළිපැදිය යුතු ගිවිසුම, මෙයයි: ඔබ අතරෙහි හැම පිරිමියකු චර්මඡේද කළ යුතු ය. ඔබ ඔබේ ලිංගාග්‍ර චර්මයෙහි මාංසය ඡේදන කළ යුතු ය. මාත්, ඔබත් අතර ගිවිසුමේ ලකුණ වන්නේ එයයි. මතු එන පරම්පරාවලදී දින අටක් වයස් වූ ඔබ අතරෙහි හැම පිරිමියකු ම චර්මඡේද කළ යුතු ය. ඔබෙන් පැවත එන්නන් නො වුව ද, ඔබ නිවසේ උපන් අය ද විදෙස්සකුගෙන් මිල දී ගත් අය ද මීට ඇතුළත් ය. ඔබේ නිවසේ ම උපන්නේ වුව ද ඔබේ මුදලින් මිල දී ගනු ලැබුවේ වුව ද ඔවුන් චර්මඡේද කළ යුතු ම ය. මෙසේ, මගේ ගිවිසුම සදාතනික ගිවිසුමක් ව ඔබේ මාංසයෙහි වන්නේ ය. තම ලිංගාග්‍ර චර්මයෙහි මාංසය ඡේද නො කළ, චර්මඡේද නො ලද හැම පිරිමියකු ම ඔහුගේ ජනයා වෙතින් සිඳ දමනු ලැබේ. ඔහු මගේ ගිවිසුම කඩකොට ඇත්තේ යැ” යි පැවසූ සේක.
දෙවියන්වහන්සේ තවදුරටත් ආබ්‍රහම් ඇමතූ සේක්, “සාරයි ගැන කියතහොත්, ඔබ තවදුරටත් ඔබේ භාර්යාව, සාරයි නමින් අමතන්නේ නැත. ඇගේ නම මින් මතු සාරා වනු ඇත. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. නියතයෙන් ම ඇගෙන් ඔබට පුතකු ලබා දෙන්නෙමි. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. ඈ, ජාතීනට මව වන්නී ය. ජනතාවගේ රජුන් ඇය වෙතින් බිහිවනු ඇතැ” යි පැවසූ සේක.
ආබ්‍රහම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. ඔහුට සිනා ගියේ ය. “අවුරුදු සීයක් වයස්ගත කෙනකුට දාව, පුතකු බිහි වෙයි ද? සාරා, ඇගේ වයස අනූවේදී දරුවකු ලබන්නේ දැ?” යි තමාට ම කියා ගත්තේ ය. ආබ්‍රහම් දෙවියන්වහන්සේ අමතමින්, “අහෝ, ඔබවහන්සේගේ ආශිර්වාද යටතේ ඉෂ්මායෙල් ජීවත් වේවා!” යි පැවසී ය.
එවිට දෙවියන්වහන්සේ, “සැබවින් ම ඔබේ බිරිඳ සාරා, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඊසාක් නමින් ඔබ ඔහු ඇමතිය යුතු ය. ඔහු සමඟ මගේ ගිවිසුම සදාතනික ගිවිසුමක් කොට මා පිහිටුවන්නේ, ඔහුගෙන් පසු ඔහුගේ දරු පරපුර සඳහා ය. ඉෂ්මායෙල් ගැනත් මම ඔබට කන් දුනිමි. මම ඔහු සඵල වන්නට සලසා, ගණනින් ඔහු බොහෝ වන්නට සලසමි. ඔහු අධිපතීන් දොළොස් දෙනකුගේ පියා වනු ඇත. විශාල ජාතියක් බවට මම ඔහු පත් කරන්නෙමි. එහෙත් මගේ ගිවිසුම මා පිහිටුවනු ලබන්නේ, ලබන වසරේ මේ කාලයට සාරා විසින් ඔබට බිහි කරන ඊසාක් සමඟිනි” යි පැවසූ සේක. මෙසේ ආබ්‍රහම් සමඟ කතාව නිම වූ පසු, දෙවියන්වහන්සේ ඔහු වෙතින් නැගී ගිය සේක.