උත්පත්ති 12:9-20

උත්පත්ති 12:9-20 SCV

මෙසේ ආබ්‍රම් ගමන් කරමින් නෙගෙබ් දෙසට සංක්‍රමණ විය. එකල කානාන් දේශයෙහි සාගතයක් ඇති විය. සාගතය දරුණු වූයෙන්, ආබ්‍රම් මද කලක් ගත කරන්නට ඊජිප්තුව බලා ගියේ ය. ඊජිප්තු දේශ සීමාවට ආසන්න වෙත් ම, තම භාර්යාව වූ සාරයි ඇමතූ ආබ්‍රම්, “ඔබ මොන තරම් රුවැති ළඳක්දැයි මා දන්නවා. ඊජිප්තුවරු ඔබ දුටු විට, ‘මේ ඔහුගේ බිරිඳ යැ’ යි කියාවි. ඉන්පසු ඔවුන් මා මරා, ඔබට ජීවත් වන්න ඉඩ හරීවී. එනිසා ඔබ මගේ සහෝදරිය යයි කියන්න. එවිට ඔබ නිසා ඔවුන් මට හොඳින් සලකාවි. ඔබ නිසා මගේ ජීවිතයත් බේරේවි” යි කීවේ ය. ආබ්‍රම්, ඊජිප්තුවට පැමිණි කල, සාරයි ඉතා සුරූපී කතක් වග ඊජිප්තුවරු දුටහ. ඊජිප්තු රජු වන පාරාවෝගේ රාජ පුරුෂයෝ ඇය දැක, පාරාවෝට ඇය ගැන වර්ණනා කළහ. එබැවින්, පාරාවෝගේ මාලිගය වෙත ඈ ගෙන යන ලද්දී ය. ඇය නිසා පාරාවෝ ආබ්‍රම්ට හොඳින් සැලකී ය. ආබ්‍රම්ට බැටළුවන් හා ගවයින් ද බූරුවන් හා බූරු දෙනුන් ද දැසි දස්සන් ද ඔටුවන් ද අත්විණි. එහෙත් ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි නිසා ස්වාමින්වහන්සේ පාරාවෝටත්, ඔහුගේ ගෘහ වාසීන්ටත් දරුණු වසංගත පැමිණ වූ සේක. එවිට ආබ්‍රම් කැඳවූ පාරාවෝ, “මොකක් ද මේ නුඹ මට කළේ? ඇය නුඹේ බිරිඳ වග මට නො කීවේ ඇයි? ඇය භාර්යාවක් කොට ගන්නට මට ඉඩ සලසමින්, ‘ඇය මගේ සහෝදරී’ යි නුඹ කීවේ ඇයි? ආ-මෙන්න නුඹේ බිරිඳ; ඇයත් රැගෙන යනු” යි කීවේ ය. ආබ්‍රම් ගැන පාරාවෝ තම මිනිසුනට අණ දුන්නෙන්, ඔවුහු ආබ්‍රම්ගේ බිරිඳ ද ඔහු සතු ව තිබූ සියල්ල ද සමඟ ඔහු පිටත් කර යැවූහ.

උත්පත්ති 12:9-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය