උත්පත්ති 12:1-10

උත්පත්ති 12:1-10 SCV

ස්වාමින්වහන්සේ ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දේශය ද ඔබේ නෑයින් ද ඔබේ පියාගේ නිවස ද අත්හැර, මා ඔබට පෙන්වන දේශයට යන්න. “ඔබ මහත් ජාතියක් බවට මම පත් කරන්නෙමි. මම ඔබට ආශිර්වාද කරන්නෙමි. මම ඔබේ නාමය, ශ්‍රේෂ්ඨ කරන්නෙමි. ඔබ ම ආශිර්වාදයක් වනු ඇත. ඔබට ආශිර්වාද කරන්නන්ට, මම ආශිර්වාද කරමි. ඔබට ශාප කරන්නාට, මම ශාප කරමි. මිහි පිට සියලු පවුල්, ඔබ තුළින් ආශිර්වාද ලබනු ඇතැ” යි පවසා තිබිණි. මෙසේ ආබ්‍රම්, ස්වාමින්වහන්සේ ඔහුට පවසා තිබූ පරිදි පිටත් ව, ගියේ ය. ලොත් ද ඔහු සමඟ ගියේ ය. හාරාන් වෙතින් පිටත් වන කල, ආබ්‍රම් හැත්තෑපස් වන වියෙහි පසු විය. ආබ්‍රම්, තම භාර්යාව වූ සාරයි ද තම සහෝදරයාගේ පුත් වූ ලොත් ද කැටිව, ඔවුන් රැස් කර ගෙන තිබූ සියලු ධන සම්පත් හා හාරාන්හි දී අත්කර ගෙන තිබූ මිනිසුන් ද රැගෙන කානාන් දේශය බලා පිටත් විය. මෙසේ ඔවුහු කානාන් වෙත ළඟා වූහ. ආබ්‍රම්, ෂෙකෙම්හි මෝරේගේ ආලෝන් වෘක්ෂය පිහිටි භූමිය දක්වා දේශය ඔස්සේ ගමන් කළේ ය. එකල දේශයේ වාසය කළෝ කානානිවරු ය. ස්වාමින්වහන්සේ ආබ්‍රම්ට පෙනුණු සේක්, “මම මේ දේශය ඔබේ වංශයට දෙන්නෙමි” යි පැවසූ සේක. එබැවින් ආබ්‍රම් තමාට පෙනුණු ස්වාමින්වහන්සේට පූජාසනයක් එතැන ගොඩ නැගුවේ ය. එතැනින් ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් වූ කඳුකරයට ගමන් කොට, බටහිරට බෙතෙල් ද නැගෙනහිරට ආයි ද යන නගර අතර තම කූඩාරම පිහිටුවා ගත්තේ ය. ස්වාමින්වහන්සේට එහි පූජාසනයක් ඉදි කළ ඔහු, ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කළේ ය. මෙසේ ආබ්‍රම් ගමන් කරමින් නෙගෙබ් දෙසට සංක්‍රමණ විය. එකල කානාන් දේශයෙහි සාගතයක් ඇති විය. සාගතය දරුණු වූයෙන්, ආබ්‍රම් මද කලක් ගත කරන්නට ඊජිප්තුව බලා ගියේ ය.

උත්පත්ති 12:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය