උත්පත්ති 11:1-9

උත්පත්ති 11:1-9 SCV

තවද, සකල ලෝ වැසි ජනයා භාවිත කළේ එක ම භාෂාවකි. එක ම වචන මාලාවකි. ඔවුහු පෙරදිගට සංක්‍රමණ වෙද්දී ෂිනාර් දේශයේ තැනිතලාවක් හමුව, එහි පදිංචි වූහ. ඔවුහු එකිනෙකා අමතමින්, “එන්න: අපි ගඩොල් තනා, ඒවා හොඳින් පුලුස්සා ගනිමු” යි කීහ. ඔවුහු ගල් වෙනුවට ගඩොල් ද බදාම වෙනුවට කීල් ද යොදා ගත්හ. එවිට ඔවුහු, “එන්න; අපි අපට ම කීර්ති නාමයක් තනාගන්නා පිණිසත්, මුළු පොළෝ තලය පුරා අප විසිර නො යන පිණිසත්, අහස උසට බළකොටු කොතක් සහිත නගරයක් අපට ගොඩ නගා ගනිමු” යි කීහ. එවිට මිනිසුන් ගොඩ නගන නගරය හා කොත බලන පිණිස ස්වාමින්වහන්සේ බැස ආ සේක. ස්වාමින්වහන්සේ කතා කොට, “බලන්න! එක් බසක් කතා කරන එක ම ජනතාවක් වශයෙන් පටන් ගැන්මට මොවුන් මේ තරම් දෙයක් කරයි නම්, අරමුණු කරන කවරක් වුව ඔවුනට කළ නො හැකි නො වේ. යමු: අපි පහළ බැස ගොස්, ඔවුන්ගේ කතාව එකිනෙකාට නො තේරෙන ලෙස ඔවුන්ගේ භාෂාව වියවුල් කරමු” යි කී සේක. ස්වාමින්වහන්සේ මෙසේ මුළු පොළෝ තලය පුරා ඔවුන් විසුරුවා හළ සේක. ඔවුහු ද නගරය ගොඩනැගීම අත්හැරියහ. ඒ නගරය, “බාබෙල්” නමින් හැඳින්වූයේ ස්වාමින්වහන්සේ මුළු ලොවෙහි ම භාෂා වියවුලක් ඇති කළේ එහිදී බැවිනි. මුළු පොළෝ තලය පුරා ස්වාමින්වහන්සේ ඔවුන් විසුරුවා හැරියේ එතැනින් ය.