උත්පත්ති 1:14-25

උත්පත්ති 1:14-25 SCV

ඉන්පසු දෙවියන්වහන්සේ, “දහවල හා රැය වෙන් කරන පිණිස, අහස් කුස ආලෝක වස්තු පිහිටනු; ඒවා සෘතු ද දවස් හා අවුරුදු ද හඟවන ලකුණු වෙත්වා! ඒවා පොළොවට එළිය දීමට අහස් කුස ආලෝක වස්තු වෙත්වා!” යි කී සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ මහත් ආලෝක වස්තු දෙක සෑදූ සේක. විසල් ආලෝක වස්තුව දහවල මෙහෙයවීම සඳහා ය. කුඩා ආලෝක වස්තුව රැය මෙහෙයවීම සඳහා ය. උන්වහන්සේ තාරකා ද සෑදූ සේක. දෙවියන්වහන්සේ මෙම ආලෝක වස්තු අහස් කුස ස්ථාපන කළේ, පොළොවට ආලෝකය දීමටත්, දහවල හා රාත්‍රිය මෙහෙය වීමටත්, අන්ධකාරයෙන් ආලෝකය වෙන් කිරීමටත් ය. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. සවස විය; උදය විය. ඒ සිවු වන දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය, එහි වෙසෙන ජීවීන් සුලබ ව රෑන් රෑන් හට ගන්වනු; පක්ෂීන් පොළොවට ඉහළ අහස් කුස හරහා පියඹා යනු” යි කී සේක. මෙසේ දෙවියන්වහන්සේ දැවැන්ත මුහුදු සත්වයින් ද ජලයෙහි සුලබ ඒ ඒ වර්ගයට අනුව නන් වැදෑරුම් ජලජ ජීවීන් ද ඒ ඒ වර්ගයට අනුව නන් වැදෑරුම් පියාසර පක්ෂීන් ද මැවූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ උන්ට ආශිර්වාද කර, “සඵල ව, බෝ වී, මුහුදු ජලය පුරා පැතිරෙනු; පක්ෂීන් ද පොළෝ තලේ බෝ වනු” යි කී සේක. සවස විය; උදය විය. ඒ පස් වන දවස ය. ඉන්පසු දෙවියන්වහන්සේ, “පොළොව, ඒ ඒ වර්ගයේ ගව-මහීෂාදීන්, ඒ ඒ වර්ගයේ උරගයින් හා වන මෘගයින් ද යන නන් වැදෑරුම් ජීවමාන සතුන් හට ගන්වනු” යි කී සේක; ඒ එසේ ම විය. මෙසේ දෙවියන්වහන්සේ ඒ ඒ වර්ගයේ වන මෘගයින් ද ඒ ඒ වර්ගයේ ගව-මහීෂාදීන් ද බිම බඩ ගා යන ඒ ඒ වර්ගයේ උරගයින් ද හට ගැන් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක.