ගලාති 6

6
කිතුනු පැවැත්ම
1සහෝදරයිනි, යමකු නොපනත්කමක් කරද්දී අසු වුවහොත්, ආත්මික වූ ඔබ මෘදුකමින් යුතු ව යළි ඔහු හරි මඟට ගෙන ආ යුතු ය. තමන් ගැනත් පරෙස්සම් වන්න; පරීක්ෂාවට නො වැටෙන්නට වග බලා ගන්න. 2එකිනෙකාගේ බර ඉවසා දරා ගැනීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය ඉෂ්ට කරන්න. 3කමකට නැති කෙනෙක් තමා වැදගතෙකැයි සිතයි නම්, ඔහු තමා රවටා ගනී. 4හැම කෙනකු ම, තම ක්‍රියා කලාපය තමන් ම තක්සේරු කර ගනිත්වා; එවිට තමා ම පාරට්ටු කර ගැනීමේ හේතුව තමන් තුළ ම ය; තම අසල්වැසියා තුළ නො වේ. 5මන්ද හැම කෙනකු ම තම තමාගේ බර ඉසිලිය යුතු ව ඇත. 6වචනය ඉගෙන ගන්නා, තමනට ඇති හැම හොඳ දෙයක් ම තමාට උගන්වන්නා සමඟ බෙදා ගත යුතු ය.
7නො රැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම් කරන්නට කිසිවකුට නුපුළුවන. කෙනකු කපා ගන්නේ, ඔහු ම වපුරන දෙයිනි. 8මන්ද තමාගේ මාංසය උදෙසා වපුරන්නා, මාංසයෙන් ජරාවට පත්වීම කපා ගනී. ආත්මයාණන් උදෙසා වපුරන්නා, ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නෙළා ගනියි. 9එබැවින් යහ වැඩ කිරීමෙහි වෙහෙසට පත් නො වී, බලාපොරොත්තු හැර නො දමා සිටින්නෙමු නම්, නිසි කල අප අස්වනු නෙළනු ඇත. 10එබැවින් අපට ඇති ඉඩ ප්‍රස්තා අනුව හැම විට, විශේෂයෙන් ඇදහිල්ලේ පවුලට සෙත සලසමු.
නව මැවිල්ල
11බලන්න! මේ ලොකු අකුරු! දැන් මා ඔබට ලියන්නේ මගේ ම අතිනි.
12චර්මඡේද කරන්නැයි ඔබට බල කරන්නේ මාංසික ප්‍රදර්ශනයකට වුවමනාව ඇතියවුන් ය. එසේ කිරීමේ ඔවුන්ගේ එක ම අරමුණ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය නිසා පැමිණෙන පීඩාවන්ගෙන් වැළකීම ය. 13චර්මඡේදිත මොවුන් පවා ව්‍යවස්ථාව පිළිපදින්නේ නැත. එහෙත් ඔබත් චර්මඡේද කරවන්නට ඔවුන්ට ඕනෑව ඇත්තේ, ඔබේ මාංසය ගැන පුරසාරමට ය. 14එහෙත් ලෝකයට මා කුරුසිපත් කළ, ලෝකය ද මට කුරුසිපත් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ කුරුසිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් පාරට්ටු කර ගැනීමට කිසි කලෙකත් මට සිදු නො වේවා! 15මන්ද නව මැවිල්ල මිස, චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ගණන් නො ගැණේ. 16මේ ප්‍රතිපත්තිය පිළිපදින හැම දෙනාට, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ට සාමයත්, දයාවත් වේවා!
17මෙතැන් පටන් කිසිවෙක් මට කරදර නො කරත්වා. මන්ද මම යේසුස්වහන්සේගේ වේදනාවේ සලකුණු මගේ සිරුරෙහි දරන්නෙමි.
18සහෝදරයිනි, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය සමඟ පවතීවා! ආමෙන්.

දැනට තෝරාගෙන ඇත:

ගලාති 6: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න