ගලාති 5:1-12

ගලාති 5:1-12 SCV

ක්‍රිස්තුස්වහන්සේ අප නිදහස් කළේ නිවහල් ව සිටීමට ය. එබැවින් ස්ථාවර ව සිටගන්න; වහල් බවේ වියගහට යළි යට නො වන්න. බලන්න! පාවුල් වන මා, ඔබට කියන්නේ, ඔබ චර්මඡේද කරන්නට ඔබ ම ඉඩ දෙනවා නම්, ඔබට ක්‍රිස්තුස්වහන්සේගෙන් ඇති ප්‍රයෝජනයක් නැත කියායි. යළිත් මා ඔබට සහතික කොට කියන්නේ, තමන් චර්මඡේද කරවා ගන්නා හැම මිනිසකු ම, සමස්ත ව්‍යවස්ථාව පිළිපැදීමේ බැඳීමකට යටත් බවයි. ව්‍යවස්ථාව මගින් දමිටු කරනු ලබන්නට කැමති ඔබ, ක්‍රිස්තුස්වහන්සේ වෙතින් පිට මං කරනු ලැබ, අනුග්‍රහයෙන් වැටී ගියහු ය. මන්ද ආත්මයාණන්වහන්සේ තුළින්, ඇදහිල්ලෙන්, අප ලැදියාවෙන් බලා හිඳින්නේ, ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුවයි. මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය. ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද? මෙම පෙලඹවීම, ඔබ කැඳවනු ලැබූ තැනැන්වහන්සේගෙන් නො වේ. “මුහුන් ඇබින්දකින් මුළු පිටි කැටිය ම පිපෙයි.” මා දරන ආකල්පය මිස, අනෙකක් ඔබට නැති බවට විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තියේ. වියවුලට ඔබ ඇද දමන තැනැත්තා කවරකු වුවත් ඊට නිසි දඬුවම ඔහු ලබනු ඇත. සහෝදරයිනි, මා තවමත් චර්මඡේදය දේශනා කරනවා නම්, තවමත් මා පීඩා කරනු ලබන්නේ ඇයි? ඒ එසේ වී නම්, කුරුසියට ඇති විරෝධය අවලංගු වූවා වෙයි. ඔවැනි කැලඹීම් ඇති කරන්නන් තමන් ම නපුංසක බව තෙක් කප්පාදු කර ගන්නවා නම් මැනවි.

ගලාති 5:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය