ගලාති 4:12-20

ගලාති 4:12-20 SCV

සහෝදරයිනි, මා වගේ වන්නැයි මම ඔබට ආයාචනා කරමි. මන්ද මම ඔබ වගේ වූයෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත. ඔබ දන්නා පරිදි, මුල් වරට මා ඔබට ශුභාරංචිය දේශනා කළේ, මගේ කායික ආබාධයක් තිබියදී ය. මගේ රෝගය ඔබට පරීක්ෂාවක් වුවත්, ඔබ මා පිළිකුල් කළේවත්, අවඥාවට ලක් කළේවත් නැත. සැබෑවට ඔබ මා පිළිගත්තේ දෙවියන්වහන්සේගේ දූතයකු පරිද්දෙනි; ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පරිද්දෙනි. ඒ සොම්නසට මොකද වුණේ? කළ හැකි විණි නම්, ඔබගේ ඇස් වුව උගුලා මට දෙන්නට තරම් ඔබ ලෙන්ගතුව සිටි වග මට සහතික ය. ඔබට ඇත්ත කීමෙන් දැන් මා ඔබට සතුරකු වෙලා ද? ඔබ දිනා ගන්නට ඔවුන් උද්යෝගී වන්නේ හොඳ අරමුණකින් නො වේ. ඔවුන්ට වුවමනා ඔබ අහක් කර ගෙන, ඔබගේ උද්යෝගය ඔවුන් වෙත යොමු කරවා ගැනීමයි. මා ඔබ සමඟ සිටියදී පමණක් නො ව අන් හැම විටත්, හොඳ අරමුණකට හැම විට උද්යෝගී වීම හොඳ ය. මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි. හැකි නම් මෙවෙලේ ඔබ ළඟ සිට, මගේ කතා විලාසය වෙනස් කර ගැනීමට කැමැත්තෙමි. ඇත්තෙන් ම ඔබ ගැන මගේ සිත වියවුල් වී තිබේ.