අහෝ අඥාන ගලාතිවරුනි! ඇස් බැන්දුමකින් ඔබ මුළා කළේ කවුරු ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම ප්‍රසිද්ධියේ ඔබේ ඇස් පනා පිට දක්වනු ලැබී ය. මෙය පමණක් ඔබෙන් අසමි; ඔබ ආත්මයාණන්වහන්සේ ලද්දේ ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් ද? නැති නම් ඇසූ දෑ අදහා ගැනීමෙන් ද? ඔබ ඔතරම් අඥාන ද? ආත්මයාණන්වහන්සේ තුළින් අරඹා, දැන් මාංසයෙන් සම්පූර්ණ වන්නට සිතන්නහු ද? ඔබ ඒ සා දුක් පීඩා වින්දේ අර්ථයක් නැතිව ද? ඇත්තෙන් ම ඒවා අර්ථ විරහිත ද? ආත්මයාණන් ඔබට සපයා දෙන තැනැන්වහන්සේ ඔබ අතරේ හාස්කම් කරන්නේ, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් ද? නැතහොත් ඔබ ඇසූ දෑ ඇදහීමෙන් ද? එය, ආබ්‍රහම්, “දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යන පරිද්දෙනි.
එබැවින් ආබ්‍රහම්ගේ පුත්‍රයින් වන්නේ ඇදහිල්ලෙන් වූ අය වග වටහා ගන්න. දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් නිර්දෝෂකමට පමුණුවන්නේ ඇදහිල්ල මගින් බැව් කල්තියා දත් ශුද්ධ ලියවිල්ල, “සියලු ජාතීන්, ඔබ තුළ ආශිර්වාද ලබනු ඇතැ” යි යන ශුභාරංචිය කල්තියා ආබ්‍රහම්ට ප්‍රකාශ කර ඇත. එබැවින් ඇදහිල්ලෙන් වූවෝ, ඇදහිල්ලේ මනුෂ්‍යයා වූ ආබ්‍රහම් සමඟ ආශිර්වාදය ලබති.
මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “ව්‍යවස්ථා පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක් ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ. ව්‍යවස්ථාව මගින් කිසිවකු දෙවියන්වහන්සේ ඉදිරියේ නිර්දෝෂ කරනු ලබන්නේ නැති වග පැහැදිලි ය. මන්ද, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ.” ව්‍යවස්ථාව ඇදහිල්ලෙන් නො වේ; ඊට වෙනස් ය. “ඒ දෑ කරන තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.” මන්ද: “ගසක එල්ලනු ලැබ සිටින හැම කෙනෙක් ම ශාප ලද්දෙකි” යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපය වෙමින්, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදා ගත්තේ, ශුද්ධාත්ම පොරොන්දුව ඇදහිල්ල තුළින් අප ලබන පිණිස, ආබ්‍රහම්ට දෙන ලද ආශිර්වාදය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අන්‍ය-ජාතීනට ද අත්වන පිණිස ය.
එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් ගතහොත්, සහෝදරයිනි, මිනිසුන් අතරේ යම් ගිවිසුමක් ස්ථිර කරන ලද පසු, එය අවලංගු කිරීම හෝ ඊට යමක් එකතු කිරීම හෝ කළ නො හැක. පොරොන්දු පවසන ලද්දේ ආබ්‍රහම්ට හා ඔහුගේ වංශයට ය. “ඔහුගේ වංශ” යනුවෙන් බොහෝ දෙනකු යන අරුතින් නො ව, එක් කෙනකු යන අරුතින් “ඔබේ වංශයට” යනුවෙනි. ඒ ක්‍රිස්තුස්වහන්සේ ය. මා අදහස් කරන්නේ මෙයයි: දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත ගිවිසුම, ඉන් වසර හාරසිය තිහකට පසු පැමිණි ව්‍යවස්ථාව මගින් අවලංගු කළ නො හැකි බවයි; එමඟින් පොරොන්දුව නිෂ්ප්‍රභ කළ නො හැකි බවයි. මන්ද උරුමය එන්නේ ව්‍යවස්ථාව මගින් නම්, තවදුරටත් එය පොරොන්දුවෙන් නො වේ. එහෙත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට එය දුන්නේ පොරොන්දුවකිනි.
එසේ නම් ව්‍යවස්ථාව කුමට ද? සැබවින් ම එය පොරොන්දුව අදහස් කළ “වංශය” පැමිණෙන තෙක්, අපරාධ ඇඟවීමට එකතු කරන ලද්දකි. එය පනවන ලද්දේ මැදහත්කරුවකු අතින්, දේව දූතයින් මගිනි. මැදහත්කරුවකු නියෝජන කරන්නේ එක් පාර්ශ්වයක් පමණක් නො වේ; එහෙත් දෙවියන්වහන්සේ එක් කෙනෙක් ම ය.
එසේ නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දු හා ප්‍රති විරෝධී ද? සත්තකින් ම නැත! මන්ද ජීවනය ගෙන දිය හැකි නීතියක් දී තිබුණි නම්, ඇත්තෙන් ම ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව මගින් ආ හැකි ව තිබිණි. එහෙත් පොරොන්දුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මගින් අදහාගන්නන්ට දෙනු ලබන පිණිස, ලියවිල්ල හැම දෙයක් ම පාපය යටතේ සිරකර තැබී ය.
ඇදහිල්ල ඒමට පෙර, ඒ ඇදහිල්ල එළිදරවු කරන තෙක්, අපි ව්‍යවස්ථාව යටතේ අල්ලා ගනු ලැබ, සිරගත කරනු ලැබ සිටියෙමු. මෙසේ ඇදහිල්ල මගින් අප නිර්දෝෂ කරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ වෙත අපට මග පෙන්වන භාරකරුවා වූයේ ව්‍යවස්ථාවයි. එහෙත් දැන් ඇදහිල්ල පැමිණ ඇති බැවින්, තවදුරටත් අප භාරකරුවකු යටතේ නො වේ.
මන්ද ඔබ හැම ඇදහිල්ල මගින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය.