ගලාති 2:11-21

ගලාති 2:11-21 SCV

කේපස්, අන්තියෝකිය වෙත ආ කල, ඔහු වරද කර සිටියෙන්, මම ඔහුගේ මුහුණට ම විරෝධය පෑමි. මන්ද යාකොබ් වෙතින් කීප දෙනකු එන්නට කලින් අන්‍ය-ජාතිකයින් සමඟ එකට ආහාර ගත් ඔහු, ඔවුන් පැමිණි පසු පසුබා, අන්‍ය-ජාතිකයින්ගෙන් වෙන් ව සිටින්නට වූයේ අර චර්මඡේදිත කණ්ඩායමට බියෙනි. ඔහු සමඟ අනිකුත් යුදෙව්වරුන් ද කුහක ලෙස ක්‍රියා කළේ, බාර්ණබස් පවා ඔවුන්ගේ ඒ කුහකකමට ඇදී යන පරිද්දෙනි. මෙසේ ඔවුන් ශුභාරංචියේ සත්‍යතාවට අනුව ක්‍රියා නො කරන බැව් දුටු මම, ඔවුන් සියල්ලන් ඉදිරිපිට කේපස්ට මෙසේ කීවෙමි. “යුදෙව්වරයකු වෙලත් ඔබ ජීවත් වන්නේ යුදෙව්වරයකු ලෙස නො ව, අන්‍ය-ජාතිකයකු ලෙසයි. එසේ නම් යුදෙව්වරුන් ලෙස ජීවත්වන්නැයි අන්‍ය-ජාතීන්ට ඔබ බල කරන්නේ කොහොම ද?” උපතින් ම අප යුදෙව්වරුන් විනා, අන්‍ය-ජාතික පව්කරුවන් නො වේ; එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මගින් මිස, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිවකු නිර්දෝෂ කරනු නො ලබන බැව් අපි දනිමු. එබැවින් ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මගින් නිර්දෝෂ කරනු ලබන පිණිස, අපිත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ අදහා ගත්තෙමු. මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියා මගින් කිසිවකු ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ නැත. ක්‍රිස්තුස්වහන්සේ තුළ නිර්දෝෂ කරනු ලබන්නට සොයමින් අපත් පව්කරුවන් සේ පෙනේ ද? එසේ නම් ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් ද? සත්තකින් ම නැත! මන්ද මා විසින් බිඳ දැමූ දෑ, යළි මා ගොඩ නගනවා නම්, මා නීති කඩන්නකු වෙයි. “මන්ද ව්‍යවස්ථාව කරණකොටගෙන මා ව්‍යවස්ථාවට මැරුණේ දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය. ක්‍රිස්තුස්වහන්සේ සමඟ මම කුරුසිපත් කරනු ලදිමි. තවදුරටත් ජීවත් වන්නේ මා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත් වන සේක. දැන් මාංසයේ වෙසෙමින් මා ගෙවන මේ ජීවිතය මා ජීවත් වන්නේ, මට ප්‍රේම කළ, මා උදෙසා තමන් ම පූජා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ ඇදහිල්ලෙනි, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය මම නිෂ්ප්‍රභ නො කරමි. මන්ද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව මගින් ලද හැකි වී නම්, ක්‍රිස්තුස්වහන්සේ මැරුණේ නිකරුණේ ය!”

ගලාති 2:11-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය