ගලාති 2:1-14

ගලාති 2:1-14 SCV

අවුරුදු දාහතරකට පසු, මා යළිත් යෙරුසලමට ගියේ බාර්ණබස් සමඟ ය; තීතස් ද මා සමඟ ගෙන ගියෙමි. මා එහි ගියේ, එළිදරවුවකට අනුව ය. මා දුවමින් සිටියේත්, දිව්වේත් නිෂ්ඵල ව නො වන වග සහතික කර ගන්නා පිණිස, අන්‍ය-ජාතීන් අතර මා ප්‍රකාශ කළ ශුභාරංචිය, ප්‍රධානීන් සේ සැලකුණු අයට පෞද්ගලික ව පෙන්වා දුන්නෙමි. එහෙත් මා සමඟ සිටි තීතස් ග්‍රීකයකු වුව ද, ඔහු චර්මඡේද කළ යුතු ය යන බලකිරීමක් වූයේ නැත. ප්‍රශ්නය පැන නැගුණේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලා, වහලුන් බවට අප පැමිණවීමේ අරමුණින්, හොර රහසේ අප අතරට රිංගා ගත් ව්‍යාජ සහෝදරයින් හේතුවෙනි. එහෙත් ශුභාරංචියේ සත්‍යතාව ඔබ සමඟ රැඳී පවතින පිණිස එක් පැයකටවත් අප ඔවුනට යටත් වී ඉඩ දුන්නේ නැත. ප්‍රධානීන් සේ සැලකුණු අය, (ඔවුන් කවර තත්වයක් දැරුව ද මට එහි වෙනසක් නැත. දෙවියන්වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් තකන්නේ නැත.) ප්‍රධානීන් සේ සැලකුණා යයි මා කී අය මගේ පණිවුඩයට කිසිවක් එකතු කළේ නැත. අනෙක් අතට, චර්ම-ඡේදිතයන් උදෙසා වූ ශුභාරංචිය පේතෘස්ට පැවරුණු සේ ම, චර්මඡේද නො වූවනට ශුභාරංචිය දීම මට පවරා ඇති බැව් ඔවුහු දුටහ. මන්ද චර්මඡේද වූවන්ට අපෝස්තුලුවරයා වශයෙන් පේතෘස්ගේ සේවය තුළ ක්‍රියාකාරී වූ තැනැන්වහන්සේ, අන්‍ය-ජාතීන්ට මගේ සේවය තුළත් ක්‍රියාකාරී වූ සේක. මට දී තිබූ ඒ අනුග්‍රහය හැඳිනගත් කල, සභා කණු මෙන් සැලකෙන යාකොබ්, කේපස් හා යොහන් පංගුකාරකමේ දකුණත බාර්ණබස්ටත්, මටත් දුන්නේ, අප අන්‍ය-ජාතීන් වෙතත්, ඔවුන් චර්මඡේදිතයින් වෙතත් යා යුතු බවට එකඟ වෙමිනි. ඔවුන් ඉල්ලූ එක ම දේ දුප්පතුන් සිහි තබා ගන්නා ලෙසයි. කරන්නට මා ඉතා ආශා වූ දේ ද එයමයි. කේපස්, අන්තියෝකිය වෙත ආ කල, ඔහු වරද කර සිටියෙන්, මම ඔහුගේ මුහුණට ම විරෝධය පෑමි. මන්ද යාකොබ් වෙතින් කීප දෙනකු එන්නට කලින් අන්‍ය-ජාතිකයින් සමඟ එකට ආහාර ගත් ඔහු, ඔවුන් පැමිණි පසු පසුබා, අන්‍ය-ජාතිකයින්ගෙන් වෙන් ව සිටින්නට වූයේ අර චර්මඡේදිත කණ්ඩායමට බියෙනි. ඔහු සමඟ අනිකුත් යුදෙව්වරුන් ද කුහක ලෙස ක්‍රියා කළේ, බාර්ණබස් පවා ඔවුන්ගේ ඒ කුහකකමට ඇදී යන පරිද්දෙනි. මෙසේ ඔවුන් ශුභාරංචියේ සත්‍යතාවට අනුව ක්‍රියා නො කරන බැව් දුටු මම, ඔවුන් සියල්ලන් ඉදිරිපිට කේපස්ට මෙසේ කීවෙමි. “යුදෙව්වරයකු වෙලත් ඔබ ජීවත් වන්නේ යුදෙව්වරයකු ලෙස නො ව, අන්‍ය-ජාතිකයකු ලෙසයි. එසේ නම් යුදෙව්වරුන් ලෙස ජීවත්වන්නැයි අන්‍ය-ජාතීන්ට ඔබ බල කරන්නේ කොහොම ද?”