එස්රා 5:1-17

එස්රා 5:1-17 SCV

එකල දිවැසිවරුන් වූ හග්ගයි හා ඉද්දෝගේ පුත්‍ර සෙකරියා, යූදාහි හා යෙරුසලමෙහි යුදෙව්වරුන්ට, ඔවුන්ට ඉහළින් වැඩ විසූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූහ. එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් හා යෝසාදාක්ගේ පුත් යේෂුවා නැගිට, යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහය යළි ඉදිකිරීමේ වැඩ ඇරඹූහ. දෙවියන්වහන්සේගේ දිවැසිවරු ඔවුන්ට උපකාර කරමින්, ඔවුන් සමඟ වූහ. එකල ගඟින් එගොඩ ආණ්ඩුකාර තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ හවුල්කරුවන් ද ඔවුන් වෙත ගොස්, ඔවුන්ට කතා කොට, “මේ ගෘහය ගොඩ නගන්නටත්, මේ ගොඩනැගිල්ල නිම කරන්නටත් ඔබට නියෝග කළේ කවුරු දැ?” යි ඇසූහ. තවද ඔවුහු, “මේ ගොඩනැගිල්ල ඉදිකරන්නන්ගේ නම් මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසූහ. එහෙත් ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ ඇස යුදෙව්වරුන්ගේ වැඩිහිටියන් වෙත වූ බැවින්, දාරෙයාවෙෂ්ට මේ ගැන වාර්තා වී, ඔහුගෙන් ලිඛිත පිළිතුරක් ලැබෙන තුරු ඔවුහු ඔවුන්ගේ වැඩ නො නැවතූහ. ගඟෙන් එගොඩ පළාතේ ආණ්ඩුකාර තත්තෙනයි, ෂෙතර්-බෝසෙනයි හා ඔවුන්ගේ හවුල්කරුවන් වූ ගඟෙන් එගොඩ පළාතේ වූ රාජ්‍ය නියෝජිතයින් දාරෙයාවෙෂ් රජු වෙත යැවූ ලිපියේ පිටපතකි මෙය. ඔවුන් ඔහු වෙත යැවූ වාර්තාවේ මෙසේ ලියැවිණි: දාරෙයාවෙෂ් රජු වෙත ය, ශුභ සිද්ධ වේවා! රජ්ජුරුවන්ට අප දන්වා සිටින්නේ, යූදා පළාත වෙත, උත්තම දෙවියන්වහන්සේගේ ගෘහය වෙත අප ගිය වගයි; ජනයා විශාල ගලින් එය ගොඩ නගති; එහි බිත්තිවල බාල්ක තබති; මෙසේ වැඩ ඉතා කඩිසර ව කෙරීගෙන යයි; ඔවුන් යටතේ ඒ වැඩ සාර්ථක ව කෙරේ. අප එම වැඩිහිටියන්ගෙන් ප්‍රශ්න කර, “මේ ගෘහය ගොඩ නගන්නටත්, මේ ගොඩනැගිල්ල නිම කරන්නටත් ඔබට නියෝග කළේ කවුරු ද” යන්නත්, ඔවුන්ගේ නායකයින්ගේ නාම ඔබට දැනගැනීමට ලියා එවන පිණිස ඔවුන්ගේ නම් මොනවා ද යන්නත් ඔවුන්ගෙන් අපි ඇසුවෙමු. ඔවුන් අපට දුන් පිළිතුර මෙසේ ය: “අහසේත්, පොළොවේත් දෙවියන්වහන්සේගේ සේවකයෝ අපයි. අප මේ යළි ගොඩ නගන්නේ බොහෝ කලකට ඉහත ගොඩ නගා තිබූ ශ්‍රේෂ්ඨ ඉශ්‍රායෙල් රජකු ගොඩ නගා නිම කරන ලද ගෘහයයි. එහෙත් අපගේ පියවරුන් ස්වර්ගයේ දෙවියන්වහන්සේ කෝප ගැන් වූ බැවින්, උන්වහන්සේ ඔවුන් බබිලෝනි රජු වූ කල්දීය නෙබුකද්නෙසර් අතට හසුකර දුන් සේක. ඔහු මේ ගෘහය විනාශ කොට, මිනිසුන් බබිලෝනිය වෙත අල්ලාගෙන ගියේ ය. “කෙසේ වෙතත් බබිලෝනියේ රජු වූ කෝරෙෂ්ගේ පළමු වසරේ, කෝරෙෂ් රජු දෙවියන්වහන්සේගේ මේ ගෘහය යළි ඉදිකරන නියෝගයක් නිකුත් කළේ ය. තවද යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහයේ තිබූ රන් හා රිදී භාණ්ඩ නෙබුකද්නෙසර් විසින් යෙරුසලමේ දේව මාලිගයෙන් ගෙන ගොස්, බබිලෝනි දෙවොලේ තැන්පත් කරන ලදී. කෝරෙෂ් රජු එම භාණ්ඩ බබිලෝනි දෙවොලෙන් ගෙන, ඔහු විසින් ආණ්ඩුකරු ලෙස පත් කර තිබූ ෂේෂ්බසර් නැමැත්තාට ඒවා භාර දී, ‘මේ භාණ්ඩ භාරගෙන, ගොස්, ඒවා යෙරුසලමේ දේව මාලිගයේ තැන්පත් කරන්න. දෙවියන්වහන්සේගේ ගෘහය ද ඊට නියමිත බිමේ යළි ගොඩ නගන්නැ’ යි උපදෙස් දී තිබිණි. “එබැවින් මේ ෂේෂ්බසර් පැමිණ, යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දැමී ය. ඒ දවසේ සිට මේ දක්වා එය ගොඩ නගන නමුදු, තවම වැඩ අවසන් වී නැත.” එබැවින් රජුට යහපතැයි හැඟෙන පරිදි යෙරුසලමේ දෙවියන්වහන්සේගේ මේ ගෘහය යළි ඉදි කරන්නට කෝරෙෂ් රජු නියෝග කළේදැයි දැනගන්නා පිණිස, බබිලෝනියේ රාජකීය ලේඛනාගාර සෝදිසි කර බැලේවා! ඉන්පසු මේ කාරණය පිළිබඳ රජුගේ තීරණය අපට ද දන්වා එවීම මැනවි.