එස්රා 3

3
පූජාසනය යළි ගොඩ නැංවීම
1හත් වන මාසය පැමිණි කල, ඉශ්‍රායෙල් ජනයා තම තමන්ගේ නගරවල සිටියදී, ජනයා එකාවන් ව යෙරුසලමට එක් රැස් වූහ. 2ඉන්පසු යෝසාදාක්ගේ පුත් යේෂුවා, ඔහුගේ සහෝදර පූජකයින් හා ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ඔහුගේ හවුල්කරුවන් ද සමඟ නැගිට, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ පූජාසනය ගොඩ නගන්නට වන්හ. එසේ කළේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි එය පිට දවන යාග පූජා ඔප්පු කරන පිණිස ය. 3ඔවුහු තම අසල්වැසි ජනයාට භයින් සිටි නමුදු පූජාසනය එහි මුල් අත්තිවාරම පිට ගොඩ නගා, ඒ මත උදයේ හා සවස යාග වශයෙන් දවන යාග පූජා ස්වාමින්වහන්සේට ඔප්පු කළහ. 4ඉන්පසු ඔවුහු, ලියවිල්ලට අනුකූලව ඒ ඒ දවසට නියමිත ගණන අනුව දවන යාග පූජා ඔප්පු කරමින් කූඩාරම් මංගල්‍යය සැමරූහ. 5ඉන්පසු ඔවුහු නිරන්තර දවන යාග පූජා, නව සඳ පිදුම් හා ස්වාමින්වහන්සේගේ ශුද්ධ මංගල්‍ය සියල්ලට ම නියමිත පූජා හා එක් එක්කෙනා ස්වාමින්වහන්සේට ගෙන ආ ස්වේච්ඡා පූජා සියල්ල ඔප්පු කළහ. 6හත් වන මස පළමුවෙනි දා සිට ඔවුහු ස්වාමින්වහන්සේට දවන යාග පූජා ඔප්පු කිරීම ඇරඹූහ. එහෙත් ස්වාමින්වහන්සේගේ මාලිගයේ අත්තිවාරම ඒ වන තුරුත් දමා තිබුණේ නැත.
ස්වාමින්වහන්සේගේ මාලිගය නැවත ඉදි කිරීම
7ඔවුහු එබැවින් ලෙබනොනයේ සිට යොප්පාව දක්වා මුහුදු මගින් දේවදාර දැව කඳන් ගෙනෙන පිණිස ගල් වඩුවන්ට හා ලී වඩුවන්ට මුදල් ද සීදොන් හා තීර් වැසියනට කෑම, බීම හා තෙල් ද දුන්හ. එසේ කළේ පර්සියාවේ කෝරෙෂ් රජු දී තිබූ අවසරය පරිදි ය.
8යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහයට ඔවුන්ගේ පැමිණීමෙන් පසු දෙවන වසරේ දෙවන මස ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්, යෝසාදාක්ගේ පුත් යේෂුවා හා ඔවුන්ගේ සෙසු සහෝදරයින් වන පූජකවරු, ලෙවීවරු හා පිටුවහල් ව සිට යෙරුසලමට පෙරළා පැමිණි සියල්ලෝ වැඩ ඇරඹූහ. ඔවුහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ ඉදිකිරීම් අධීක්ෂණයට විසි අවුරුදු හා ඊට වැඩි වයස් වූ ලෙවීවරුන් පත් කළහ. 9යේෂුවා හා ඔහුගේ පුත්‍රයෝ හා ඔහුගේ සහෝදරයෝ ද කද්මීයෙල් හා ඔහුගේ පුත්‍රයෝ ද යන යූදාගෙන් පැවත එන්නෝ එක් ව දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ කරන්නන් අධීක්ෂණය කළහ. හේනාදාද්ගේ පුත්‍රයෝ ද ලෙවීවරු හා ඔවුන්ගේ පුත්‍රයෝ හා සහෝදරයෝ ද ඔවුන් සමඟ එක් වී එසේ කළහ.
10ඉදිකරන්නන් ස්වාමින්වහන්සේගේ මාලිගයේ අත්තිවාරම දමද්දී තම පූජක වස්ත්‍ර හැඳි පූජකයෝ, හොරණෑ දරමින් ද ආසාෆ්ගේ පුත්‍රයින් වූ ලෙවීවරු අත්තාලම් ද ගෙන, ඉදිරියට ආවේ ඉශ්‍රායෙල් රජු වූ දාවිත් නියම කළ ලෙස ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නට ය. 11ඔවුහු ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරමින්, ස්තුති දෙමින්, ප්‍රතිචාරාත්මක ව ගායනා කළේ,
“උන්වහන්සේ යහපත් ය.
ඉශ්‍රායෙල්ට ඇති උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවත්නේ ය” යනුවෙනි.
ඔවුන් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරද්දී, මුළු මහත් ජනයා මහ හඬ නගමින් කෑ මොර දුන්හ. මන්ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමනු ලැබූ බැවිනි. 12එහෙත් පළමු ගෘහය දැක තිබූ පූජකයෝ, ලෙවීවරු හා පියවංශ ප්‍රධානීහු යන වයසක බොහෝ දෙනෙක් මෙම ගෘහයේ අත්තිවාරම් දමනු දුටු කල මහ හඬ නගා වැලපුණේ අන් බොහෝ දෙනා ප්‍රීති ඝෝෂා නංවද්දී ය. 13එහෙයින් මේ ප්‍රීති ඝෝෂාවේ හඬ ද නැතහොත් වැලපීමේ හඬ ද යන්න කිසිවකුටත් පැහැදිලි ව වටහා ගත නො හැකි විය. මන්ද ජනයා ඝෝෂාවෙන් නැගූ උස් හඬ බොහෝ දුරට ඇසී ගිය බැවිනි.

දැනට තෝරාගෙන ඇත:

එස්රා 3: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න