එසකියෙල් 37:1-9

එසකියෙල් 37:1-9 SCV

ස්වාමින්වහන්සේගේ හස්තය මා පිට විය. උන්වහන්සේ ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මගින් මා පිටතට ගෙනවුත්, මිටියාවතක් මැද මා සිටුවී ය. එය ඇටකටුවලින් පිරී තිබිණ. ඒවා අතරෙහි උන්වහන්සේ, මා ඔබ මොබ ගෙන ගිය සේක. මිටියාවත් බිමේ ඇටකටු අති මහත් ගොන්නක් මම දිටිමි. ඒ ඇටකටු බෙහෙවින් වියළී තිබිණ. උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ?” යි ඇසූ සේක. මම උත්තර දෙමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබ පමණක් එය දන්නා සේකැ” යි කීවෙමි. එවිට උන්වහන්සේ මට කතා කොට, “මේ ඇටකටුවලට දිවැසි වැකි පවසමින්, ඒවාට මෙසේ කියන්න: ‘එම්බා වියළි ඇටකටු, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! මේ ඇටකටුවලට පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම නුඹලා තුළට හුස්ම පිඹින්නෙමි. එවිට නුඹලා ජීවත් වනු ඇත. මම නුඹලා පිට නහර තබා, මාංසය හටගන්වා, නුඹලා සමින් වසන්නෙමි. මම නුඹලා තුළට හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවනයට එනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූහ. එබැවින් අණ ලද පරිදි මම දිවැසි වැකි පැවසීමි. මා දිවැසි වැකි පවසන අතරේ ශබ්දයක් ද සට සට රාවයක් ද විය. ඇටයක් ඇටයකට යන වශයෙන් ඒ ඇටකටු එක් වන්නට විය. මා බැලූ කල, මෙන්න! ඒවා පිට නහර හට ගැන්වී, මාංසය මතු වී, ඒවා සමින් වැසී ගියේ ය. එහෙත් ඒවා තුළ හුස්ම නො වී ය. එවිට උන්වහන්සේ මා අමතමින්, “දිවැසි වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, හුස්මට දිවැසි වැකි පවසමින්, ඊට මෙසේ කියන්න. ‘එම්බා ජීවන හුස්ම, සතර සුළං වෙතින් පැමිණ සිටින, මැරුම් කනු ලැබ සිටින මොවුන් යළි ජීවත් වන පිණිස, මොවුන් තුළට හුස්ම හෙළනු! යි’ පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක කියා කියන්නැ” යි පැවසූ සේක.