එසකියෙල් 36

36
ඉශ්‍රායෙල් කඳුවලට ආශිර්වාදයක්
1“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් කඳුවලට දිවැසි වැකි පවසමින් මෙසේ කියන්න: ‘එම්බා ඉශ්‍රායෙල් කඳු, ස්වාමින්වහන්සේගේ වචනය අසනු. 2පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: සතුරා නුඹ ගැන කතා කරමින්, “අහා! ඉපැරණි කඳු මුඳුන් අපගේ අයිතියට පත් ව ඇතැ” යි’ කීහ. 3එබැවින් දිවැසි වැකියෙන් මෙසේ පවසන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: සෙසු ජාතීන්ට නුඹ අයත් වන පරිදි ද ජනයාගේ ද්වේෂ සහගත කතාවලට හා අපහාසවලට නුඹ ගොදුරක් වන පරිදි ද ඔවුන් නුඹ ආලාපාළු කර, නුඹ සැමාතින් තලා දැමූ නිසාත් 4එම්බා ඉශ්‍රායෙල් කඳු, පරමාධිපති ස්වාමින්වහන්සේගේ වචනය අසනු. නුඹ වටා සිටින සෙසු ජාතීන්ගේ කොල්ලකෑමටත්, සමච්චලයටත් ලක් වූ කඳුවලට හා හෙල්වලටත්, ගිරි කඳුරු හා මිටියාවත්වලටත්, පාළු නෂ්ටාවශේෂ හා ජනශූන්‍ය නගරවලටත් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක. 5පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ඇවිළෙන ඊර්ෂ්‍යාවෙන් මම සෙසු ජාතීන්ට එරෙහිව හා මුළු ඒදොම්ට එරෙහිව කතා කළෙමි. මන්ද, ඔවුහු තම හදේ ප්‍රමෝදයෙන් හා ද්වේෂයෙන් යුතු ව මගේ දේශය තම අයිතියට පවරා ගත්හ. එසේ කළේ එහි තණ බිම් කොල්ලකනු පිණිස ය.’ 6එබැවින් ඉශ්‍රායෙල් දේශය සම්බන්ධයෙන් දිවැසි වැකි පවසමින්, කඳු හා හෙල් ද ගිරි කඳුරු හා මිටියාවත් ද අමතා මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක. නුඹලා ජාතීන්ගේ අවඥා ඉවසා දැරූ බැවින්, මා කතා කරන්නේ ඊර්ෂ්‍යා සහගත මගේ උදහසිනි. 7එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹලා වටා සිටින ජාතීන්ට ද අවඥා ඉවසා දරන්නට සිදුවන වග එසවූ හස්තයෙන් යුතු ව මම දිවුරමි.
8“ ‘එහෙත්, එම්බා ඉශ්‍රායෙල් කඳු! මගේ ජනයා වන ඉශ්‍රායෙල් උදෙසා නුඹලා අතු ඉති දමා, පල දරනවා ඇත. මන්ද ඉතා ඉක්මනින් ඔවුන් ආපසු ගෙදර එනු ඇත. 9මා නුඹලාගේ පැත්තේ ය. මම නුඹලා දෙසට හැරෙන්නෙමි. නුඹලා සී සා, වපුරනු ලබනු ඇත. 10මම නුඹලා පිට මුළු ඉශ්‍රායෙල් වංශය ජනගහනයෙන් අධික කරන්නෙමි. නගර, ජනාවාස වනු ඇත. නටබුන් තැන්, යළි පිළිසකර කෙරෙනු ඇත. 11මම නුඹලා පිට මිනිසුන් ද සතුන් ද ගණනින් වැඩි කරන්නෙමි. ඔවුන් සඵල ව ගණනින් අධික වනු ඇත. ඉහතදී මෙන් මම ජනයා නුඹලා පිට පදිංචි කරවා, පෙරටත් වඩා නුඹලා සමෘද්ධිමත් කරන්නෙමි. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගන්නවා ඇත. 12මම මගේ ජනතාව වන ඉශ්‍රායෙල් ජනයා නුඹලා පිට ඇවිදින්නට සලස්වන්නෙමි. ඔවුන් නුඹලා අත්පත් කර ගනු ඇත. නුඹලා ඔවුන්ගේ උරුමය බවට පත් වනු ඇත. නුඹලා තවදුරටත් ඔවුන්ගේ දරුවන් ඔවුන්ට අහිමි නො කරනු ඇත.
13“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ජනයා නුඹලා ගැන පවසන්නේ, “නුඹලා මිනිසුන් කා දමති. නුඹගේ ජාතියට ඔවුන්ගේ දරුවන් අහිමි කරති” යනුවෙනි. 14එබැවින්, මින් මතු නුඹලා මිනිසුන් කා දමන්නේවත්, නුඹේ ජාතියට දරුවන් අහිමි කරන්නේවත් නැතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 15තවදුරටත් නුඹට ජාතීන්ගේ ඇනුම්පද අසන්නට මම ඉඩ නො තබමි. තවදුරටත් නුඹ ජනයින්ගේ අපහාස විඳින්නේවත්, නුඹේ ජාතියේ වැටීමට හේතුවක් වන්නේවත් නැතැ’ යි” පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ඉශ්‍රායෙල් යළි නගා සිටුවීම
16 ස්වාමින්වහන්සේගේ වචනය යළිත් මා වෙත පැමිණ කියනුයේ, 17“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ගේ ම දේශයෙහි විසූ කාලයේ ඔවුහු තමන්ගේ හැසිරීමෙන් හා ඔවුන්ගේ ක්‍රියා මගින් දේශය අපවිත්‍ර කළෝ ය. මා ඉදිරියෙහි ඔවුන්ගේ හැසිරීම මාස්ශුද්ධියේදී කාන්තාවකගේ අපවිත්‍රතාවය වැනි ය. 18එබැවින් මම මගේ උදහස ඔවුන් පිට වැගිරවීමි. එසේ කළේ ඔවුන් දේශය පිට ලේ වැගිර වූ නිසාත්, ඔවුන්ගේ දේව පිළිමවලින් දේශය අපවිත්‍ර කළ නිසාත් ය. 19මම ජාතීන් අතරෙහි ඔවුන් පලවා හැරියෙමි. රට-රටවල ඔවුහු විසුරුවනු ලදහ. ඔවුන්ගේ හැසිරීමටත්, ඔවුන්ගේ ක්‍රියාවලටත් අනුකූලව මම ඔවුන් විනිශ්චය කළෙමි. 20ජාතීන් අතරට ගිය ගිය තැන්හි, ඔවුහු මගේ ශුද්ධ නාමය කෙලෙසූහ. මන්ද ඔවුන් ගැන කියනු ලැබුවේ, ‘මොවුහු ස්වාමින්වහන්සේගේ ජනයා ය; එහෙත් උන්වහන්සේගේ රට හැර යන්නට ඔවුන්ට සිදු විණැ’ යි කියා ය. 21ඉශ්‍රායෙල් වංශය ගිය ගිය තැන්හි ජාතීන් අතරෙහි කෙලෙසූ මගේ ශුද්ධ නාමය ගැන මම සංවේගයට පත් වීමි.
22“එබැවින්, ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එම්බා ඉශ්‍රායෙල් වංශය, මා මේ දෑ කරන්නට යන්නේ නුඹලා උදෙසා නො වේ, නුඹලා ගිය ගිය තැන්හි ජාතීන් අතරෙහි කෙලෙසන ලද මගේ ශුද්ධ නාමය උදෙසා ය. 23ජාතීන් අතරෙහි කෙලෙසීමට පත් කරන ලද, නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසූ නාමය වන මගේ උත්තම නාමයේ ශුද්ධ භාවය මම පෙන්වන්නෙමි. නුඹලා මගින් ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි මගේ ශුද්ධ භාවය මා පෙන්වන කල, ස්වාමින්වහන්සේ මා වග ඒ ජාතීන් දැනගනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
24“ ‘මන්ද, මම ජාතීන් අතරින් නුඹලා පිටතට ගන්නෙමි. සියලු රටවලින් මම නුඹලා එකතු කොට, නුඹලාගේ ම දේශයට ආපසු ගෙනෙන්නෙමි. 25මම නුඹලා පිට පවිත්‍ර ජලය ඉසින්නෙමි. එවිට නුඹලා පවිත්‍ර වනු ඇත. නුඹලාගේ සියලු අපවිත්‍රතාවලින් හා නුඹලාගේ සියලු දේව පිළිමවලින් මම නුඹලා පවිත්‍ර කරන්නෙමි. 26මම නුඹට අලුත් හදවතක් දී, අලුත් ආත්මයක් නුඹ තුළ තබන්නෙමි. මම නුඹගේ ගල් හදවත ඉවත් කර, මෘදු හදවතක් දෙන්නෙමි. 27මම මගේ ආත්මය නුඹ තුළ තබා, මගේ නියෝග පවත්වන්නට නුඹ සලස්වන්නෙමි. එවිට මගේ නියමයන් පිළිපදින්නට ඔබ වග බලා ගනු ඇත. 28මා විසින් නුඹලාගේ ආදි පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරනු ඇත. නුඹලා මගේ ජනතාව වන්නෝ ය. මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි. 29නුඹලාගේ සියලු අපවිත්‍රතාවලින් මම නුඹලා ගලවන්නෙමි. මම ඔබට ධාන්‍ය උපද්දවා දී, ඒවා බහුල කරන්නෙමි. මා නුඹලා පිට සාගතය පමුණුවන්නේ නැත. 30සාගතය හේතු කොට මින් මතු ජාතීන් අතරේ නුඹලා නින්දා අපහාස නො විඳින පිණිස, මම ගස්වල පලදාව වැඩි කරන්නෙමි. කෙත් වත්හි අස්වනු වැඩි කරන්නෙමි. 31එවිට නුඹලාගේ නපුරු මාර්ග හා දුෂ්ට ක්‍රියා නුඹලාට සිහිවනු ඇත. නුඹලාගේ පාප හා දුෂ්ට ක්‍රියා නිසා නුඹලා නුඹලාට ම පිළිකුලක් වනු ඇත. 32මා මේවා කරන්නේ නුඹලා උදෙසා නො වන වග නුඹලා දැන ගන්නවාට මම කැමැත්තෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලාගේ කල් ක්‍රියාව ගැන ලජ්ජා වනු! වික්ෂිප්ත වනු!
33“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹලාගේ සියලු පාපවලින් මා නුඹලා පවිත්‍ර කරන දවසේ නුඹලාගේ නගර, යළි ජනාවාස කරන්නෙමි. නටබුන් තැන් යළි ගොඩ නගනු ලැබේ. 34මග යන එන්නන් ඉදිරියෙහි පාළුවට ගොස් තිබූ පාළු වී ගිය බිම් අස්වද්දනු ලැබේ. 35එවිට ඔවුන් අදහස් දක්වමින්, “පාළු මුඩු බිමක් ව තිබූ මේ දේශය, ඒදන් උයන බඳු වී තිබේ. ජරාවාස ව, පාළුවට හැර, විනාශ වී තිබූ පුරවර දැන් ජනාවාස ව ආරක්ෂිත ව ඇතැ” යි කියනු ඇත. 36එවිට, විනාශ කර දමන ලද දෑ, ස්වාමින්වහන්සේ වන මම යළි ගොඩ නගා ඇති වගත්, පාළුවට ගොස් තිබූ බිම්, යළි වගාකර ඇති වගත් නුඹලා වටා ඉතිරි ව සිටින ජාතීන් දැනගන්නවා ඇත. ස්වාමින්වහන්සේ වන මම එසේ පැවසීමි. මම එය කරන්නෙමි.’
37“පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: යළිත් වරක් ඉශ්‍රායෙල් වංශයේ කන්නලව්ව අසා, ඔවුන්ට මෙය කර දෙන්නෙමි. මම ඔවුන්ගේ ජනයා බැටළු රැළක් මෙන් ගණනින් වැඩි කරන්නෙමි. 38යෙරුසලමේ නියමිත මංගල්‍ය පුද පූජා සඳහා එළු බැටළු රංචු මෙන් ඔවුන් අනේක වන්නට සලසමි. නටබුන් වූ පුරවර ජන සමූහයාගෙන් පුරවනු ලබන්නේ එලෙසිනි. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.”

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 36: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න