එසකියෙල් 25

25
අම්මොන්වරුන්ට එරෙහිව
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, ඔබගේ මුහුණ අම්මොන්වරුන්ට එරෙහිව යොමු කොට, ඔවුන්ට එරෙහිව දිවැසි වැකි පවසන්න. 3අම්මොන්වරුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මගේ ශුද්ධස්ථානය කෙලෙසුණු අවස්ථාවේ ඒ ගැන ද ඉශ්‍රායෙල් දේශය පාළුවට ගිය කල ඒ ගැන ද යූදාහි ජනයා වහල්කමට පිට මං ව ගිය කල ඒ ගැන ද නුඹලා අහා! යි කීවාහු ය. 4එබැවින්, පෙරදිග ජනයාට උරුමයක් කොට මම නුඹලා දෙන්නෙමි. ඔවුහු නුඹලා අතරෙහි කඳවුරු පිහිටුවා, නුඹලා අතරෙහි තම කූඩාරම් ගසා ගන්නෝ ය. ඔවුහු නුඹලාගේ පල භුක්ති විඳ, නුඹලාගේ කිරි ද පානය කරන්නෝ ය. 5මම රබ්බා පුරය ඔටුවන්ගේ තණ බිමක් ද අම්මොන් දේශය බැටළුවන්ගේ ලැගුම් පොළක් ද බවට හරවන්නෙමි. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගන්නවා ඇත. 6මන්ද, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉශ්‍රායෙල් දේශයට එරෙහිව නුඹේ හද පිරි කුඩුකේඩුකමින් ප්‍රීති වෙමින්, අත්පොළසන් දෙමින්, අඩි හැප්පූ නිසා 7මෙන්න, මගේ හස්තය මම නුඹට එරෙහිව දිගු කොට, නුඹ ජාතීන්ට කොල්ලයක් කොට දෙන්නෙමි. ජාතීන් අතරින් මම නුඹ සිඳ දමා, රටවල් අතරින් නුඹ මුලිනුදුරා, නුඹ විනාශ කර දමන්නෙමි. එවිට ස්වාමින්වහන්සේ මා වග නුඹ දැනගන්නවා ඇත.’ ”
මෝවබ්වරුන්ට එරෙහිව
8“පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මෝවබ් හා සේයිර් කතා කොට, “මෙන්න! යූදා වංශය සෙසු සියලු ජාතීන් හා සමාන බවට පත් ව ඇතැ” යි කී බැවින්, 9මෝවබ් දේශ සීමාවේ නගර වන බෙත්-යෙෂීමොත්, බාල්-මෙයෝන් හා කිරියාතායිම් යන දේශයේ තේජස වන මෝවබ් කඳු පැත්ත මම නිරුවත් කරන්නෙමි. 10තවද ජාතීන් අතරෙහි අම්මොන්වරුන් තවත් සිහි නො වන පිණිස, අම්මොන්වරුන් සමඟ මෝවබ් දේශය පෙරදිග ජනයාට උරුමයක් කොට මම දෙන්නෙමි. 11මෙසේ මම මෝවබ්වරුන් පිට දඬුවම් පමුණු වන්නෙමි. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.’ ”
ඒදොම්ට එරෙහිව
12“පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඒදොම්, යූදා වංශයෙන් පළිගෙන, ඒ පළිගැනීමේ හේතුවෙන් අතිශය වරදකාරී බවට පත් ව සිටින බැවින්, 13පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම ඒදොම්ට එරෙහිව මගේ හස්තය දිගු කොට, එහි මිනිසුන් ද එහි සතුන් ද සිඳ දමා, එය පාළු බිමක් කරන්නෙමි. තේමාන් සිට දෙදාන් දක්වා ඔවුහු කඩු මුවහතින් වැටී යන්නෝ ය. 14මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන් ලවා මම ඒදොම්ගෙන් පළිගන්නෙමි. මගේ කෝපය හා මගේ උදහසට අනුකූලව ඔවුන් ඒදොම්වරුන්ට කරනු ඇත. මගේ උදහස ඔවුන් දැනගනු ඇතැ’ යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
පිලිස්තිවරුන්ට එරෙහිව
15“පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘පිලිස්තිවරුන් පළි ගැනීමට ක්‍රියා කොට, ඔවුන්ගේ හදවත්හි ද්වේෂයෙන් යුතු ව, පළි ගත් බැවින් හා ඉපැරණි එදිරිවාදිකමින් යුතු ව යූදා විනාශ කිරීමට සෙවූ බැවින්, 16පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම පිලිස්තිවරුන්ට එරෙහිව මගේ හස්තය දිගු කොට, කෙරේතිවරුන් සිඳ-බිඳ ලා, මුහුදු වෙරළබඩ ඉතිරි ව සිටින්නවුන් වනසා දමන්නෙමි. 17මම මහ පළි ගැනීමක් ඔවුන් පිට පමුණුවා, මගේ උදහසින් ඔවුන්ට දඬුවම් කරන්නෙමි. මා ඔවුන්ගෙන් පළි ගත් විට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇතැ’ යි” පැවසූ සේක.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 25: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න