එසකියෙල් 13:1-12
එසකියෙල් 13:1-12 SCV
ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: “මනුෂ්‍ය පුත්‍රය, දැන් දිවැසි වැකි පවසන ඉශ්රායෙල් දිවැසිවරුන්ට එරෙහිව දිවැසි වැකි පවසන්න. තමන් ම සිතින් මවා ගත් දිවැසි වැකි පවසන්නවුන්ට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේගේ වචනය අසනු! පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක. කිසිවක් නො දැක, තමන්ගේ ම මානසිකත්වයට අනුව යන අනුවණ දිවැසිවරුන්ට දුක් වේ! එම්බා ඉශ්රායෙල්, නුඹේ දිවැසිවරුන් නටබුන් අතරේ සිවලුන් වැන්න. ස්වාමින්වහන්සේගේ දවසේ සංග්‍රාමයේදී නො සැලී සිටිනු හැකි වන පරිදි ඉශ්රායෙල් වංශය උදෙසා පවුරේ කපොලු පිළිසකර කරන්නට නුඹලා ගියේ නැත. ඔවුන්ගේ දර්ශන බොරු ය. ඔවුන්ගේ පේනකීම් මුසා ය. ස්වාමින්වහන්සේ ඔවුන් නො යැවූ නමුදු, “ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැ” යි කියා ඔවුන්ගේ වචන උන්වහන්සේ ඉටු කරතැයි අපේක්ෂා කරති. මා කතා නො කළ විටෙක, “ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ සේකැ” යි කීමෙන් ඔබ බොරු දර්ශන දැක, මුසා පේන පැවසුවා නො වේ ද? “ ‘එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔබගේ මිථ්‍යා වචන හා මුසා දර්ශන නිසා, මම ඔබට එරෙහිව සිටිමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. බොරු දර්ශන දකින, මුසා පේන පවසන දිවැසිවරුන්ට මගේ හස්තය විරුද්ධ වනු ඇත. ඔවුන් මගේ ජනතාවගේ මන්ත්‍රණ සභාවට අයත් වන්නේවත්, ඉශ්රායෙල් වංශයේ වාර්තා ලේඛනවලට ඇතුළු වන්නේවත්, නැත. ඉශ්රායෙල් භූමියට ඔවුන් ඇතුළත් ද නැත. පරමාධිපති ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇත. “ ‘සාමයක් නැති කල, “සාමය ය” කියමින්, ඔවුන් මගේ ජනයා නොමග යවන බැවින් ද ජනයා තාප්පයක් ගොඩ නැගූ කල, මේ දිවැසිවරු සුදු හුණු ගා වසන් කරන බැවින් ද එය ගරා වැටෙන වග සුදු හුණෙන් එය වසන් කරන්නවුන්ට කියන්න. වර්ෂාව මහෝඝයක් වී පැමිණේ. මම හිම කැට කඩා හෙළන්නෙමි. සැඩ සුළඟක් සැහැසි ව හැමේ. තාප්පය බිඳ වැටෙන කල, “නුඹලා එහි ගෑ සුදු හුණු කොහේ දැ?” යි ජනයා නුඹලාගෙන් නො අසාවි ද?

