එසකියෙල් 11:16-25
එසකියෙල් 11:16-25 SCV
“එබැවින් මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ජාතීන් අතරේ දුර බැහැරට මා ඔවුන් යවා, රටවල් අතරෙහි ඔවුන් විසුරුවා දැමුවත්, ඔවුන් ගොසින් සිටින රට රටවලදී මද වෙලාවකට මම ඔවුන්ට අභයස්ථානයක් වුණෙමි.’ “එබැවින් මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ජාතීන් වෙතින් මම ඔබ එක් රැස් කර, ඔබ විසුරුවා දැමුණු රට-රටවලින් ආපසු ගෙනවුත්, ඉශ්‍රායෙල් දේශය යළි ඔබට දෙන්නෙමි.’ “ඔවුන් පෙරළා එහි අවුත්, එහි ඇති නීච පිළිම රූප හා පිළිකුල් සහගත දේව පිළිම සියල්ල ඉවත් කරනු ඇත. මම ඔවුන්ට නො බෙදුණු හදවතක් දෙන්නෙමි. නවමු ආත්මයක් ඔවුන් තුළ තබන්නෙමි. මම ඔවුන් තුළ ඇති ගල් හදවත ඔවුන් වෙතින් ඉවත් කර, මාංසමය හදවතක් ඔවුන්ට දෙන්නෙමි. එවිට ඔවුන් මගේ නියෝග රක්ෂා කරමින් මගේ නියමයන් පිළිපැදීමට සිතට ගනු ඇත. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. එහෙත්, තමන්ගේ නීච පිළිම රූප හා පිළිකුල් සහගත දේව පිළිමවලට තම හදවත් කැප කර ඇතියවුන්ගේ ක්‍රියා මාර්ග ඔවුන්ගේ ම හිස් පිට පතිත කරන්නෙමි!” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඉන්පසු කෙරුබ්වරු තමන් පසෙක රෝද තිබියදී, තම පියාපත් විහිදාලූහ. එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය ඔවුන්ට ඉහළින් විණ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය පුරවරය මධ්‍යයෙන් ඉහළ නැගී, පුරවරයට නැගෙනහිරින් වූ කන්දට ඉහළින් නැවතුණේ ය. ආත්මයාණෝ මා ඔසවා, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මට දුන් දර්ශනය මගින් කල්දියාවෙහි පිටුවහල් ව සිටින්නවුන් වෙත මා ගෙන ගියේ ය. මා දුටු දර්ශනය ඉන්පසු මවෙතින් ඉවත් ව ගියේ ය. ස්වාමින්වහන්සේ මට පෙන්වා තිබූ සියල්ල ගැන මම පිටුවහල් ව සිටින්නවුන්ට පැවසීමි.

