නික්මයාම 8

8
1ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පාරාවෝ වෙත ගොස්, ඔහුට මෙසේ කියන්න. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මට නමස්කාර කරන පිණිස, මගේ ජනයාට යන්නට හරින්න. 2ඔබ ඔවුනට යන්නට දීම ප්‍රතික්ෂේප කරතහොත්, මම මැඩියන්ගෙන් ඔබේ මුළු රටට ම පීඩා පමුණුවමි. 3නයිල් ගඟ මැඩි රංචුවලින් ගහන වනු ඇත. උන් ඔබේ මැදුරට ද ඔබේ නිදන කුටියට ද ඔබේ යහනට හා ඔබේ නිලධාරීන්ගේ ගෙවලට ද ඔබේ ජනයා පිටට ද ඔබේ උදුන්වලට හා ඔබේ පිටි අනන බඳුන්වලට ද පැන එනු ඇත. 4මැඩියන් ඔබ පිටටත්, ඔබේ ජනයා පිටටත්, ඔබේ සියලු නිලධාරීන් පිටටත් පැන එනු ඇතැ’ යි” පැවසූ සේක.
5 ස්වාමින්වහන්සේ යළි මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ට මෙසේ කියන්න: ‘ඔබේ සැරයටිය රැගත් ඔබේ අත ගංගා, ඇළදොළ හා පොකුණු පිට දිගු කර, ඊජිප්තු දේශය පිටට මැඩියන් එන්නට සලස්වන්නැ’ යි” කී සේක.
6එබැවින් ආරොන් ඊජිප්තුවේ ජල පිටට තම අත එසවී ය. එවිට මැඩි රංචු පැන නැගී, දේශය වසා ගත්හ. 7ඉන්ද්‍රජාලිකයෝ ද තම ගුප්ත ශිල්ප මගින් එය ම කළහ. ඔවුහු ද ඊජිප්තු දේශය පුරා මැඩියන් නැගී එන්නට සැලැස්වූහ.
8එවිට පාරාවෝ, මෝසෙස් හා ආරොන් කැඳවා, ඔවුන් අමතමින්, “මා වෙතින් හා මගේ ජනයා වෙතින් මේ මැඩියන් පහ කරන ලෙස ස්වාමින්වහන්සේට කන්නලව් කරන්න. ස්වාමින්වහන්සේට යාග ඔප්පු කරන්නට ඔබේ ජනයාට මම යන්නට දෙන්නෙමි” යි කීවේ ය.
9මෝසෙස් පාරාවෝට පිළිතුරු දෙමින්, “නයිල් ගඟේ පමණක් ඉතිරි ව සිටින ලෙස ඔබ වෙතින් ද ඔබේ නිවෙස්වලින් ද මැඩියන් පහ කර දමන පිණිස ඔබ උදෙසාත්, ඔබේ නිලධාරීන් හා ඔබේ ජනයා උදෙසාත් මා කන්නලව් කළ යුත්තේ කවර වෙලාවකදැයි කීමේ ගෞරවය ඔබ සතු යැ” යි කීවේ ය.
10“හෙට” යැයි පාරාවෝ පැවසී ය.
මෝසෙස් පිළිතුරු දෙමින්, “ඔබ කී ලෙස ම වේවා! එසේ වන්නේ, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා සමාන අන් කෙනකුන් නොමැති වග ඔබ දැනගන්නා පිණිස ය. 11මැඩියන් ඔබ වෙතින් හා ඔබේ ගෙවලින් ද ඔබේ නිලධාරීන් හා ඔබේ ජනයා වෙතින් ද ඉවත් ව යනු ඇත. නයිල් ගඟේ පමණක් උන් ඉතිරි වනු ඇතැ” යි පැවසී ය.
12මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතින් නික්ම ගිය පසු, මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, පාරාවෝ පිටට උන්වහන්සේ පැමිණ වූ මැඩියන් ගැන කන්නලව් කළේ ය. 13ස්වාමින්වහන්සේ මෝසෙස්ගේ ඉල්ලීම ඉටු කළ සේක. නිවෙස්හි ද ගෙමිදුල්හි ද කෙත් වත්හි ද වූ මැඩියෝ මළහ. 14උන් එක් රැස් කොට, ගොඩවල් ගසන ලදී. එයින් දේශය දුගඳ විය. 15එහෙත් සහනයක් ලද වග දුටු පාරාවෝ, තම හද දැඩි කර ගත්තේ ය. ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.
තුන් වන පීඩාව - කිනිතුල්ලන්
16ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “ආරොන්ට මෙසේ කියන්න, ‘ඔබේ සැරයටිය දිගු කොට, පොළොවේ දූවිල්ලට ගසන්න.’ එවිට, ඊජිප්තු දේශය මුළුල්ලේ දූවිල්ල කිනිතුල්ලන් බවට පත් වෙතැ” යි පැවසූ සේක. 17ඔවුහු එසේ කළහ. ආරොන් තම සැරයටිය ගෙන, අත දිගු කොට, පොළොවේ දූවිල්ලට ගැසූ කල, මිනිසුන් ද සතුන් ද පිට කිනිතුල්ලෝ නැග ආහ. ඊජිප්තු දේශය මුළුල්ලේ දූවිල්ල කිනිතුල්ලන් බවට හැරිණ. 18ඉන්ද්‍රජාලිකයින් ද තම ගුප්ත ශිල්ප මගින් කිනිතුල්ලන් උපදන්නට තැත් දැරූ නමුදු, ඔවුන්ට එය කළ නො හැකි විය.
කිනිතුල්ලෝ මිනිසුන් පිටත්, සතුන් පිටත් වන්හ. 19එවිට ඉන්ද්‍රජාලිකයෝ පාරාවෝ අමතමින්, “මේ නම් දෙවියන්වහන්සේගේ ඇඟිල්ල යැ” යි කීහ. එහෙත්, පාරාවෝගේ හදවත දැඩි වූ නිසා, ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි ඔහු ඔවුන්ට සවන් දුන්නේ නැත.
සිවු වන පීඩාව - මැස්සන්
20ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “අලුයම් උදෙන් නැගිට, පාරාවෝ ගඟට එන කල, ඔහු හමු වී, ඔහුට මෙසේ කියන්න. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මට නමස්කාර කරන පිණිස, මගේ ජනයාට යන්නට හරින්න. 21මගේ ජනයාට ඔබ යන්නට දෙන්නේ නැති නම්, මම මැසි සමූහ ඔබ පිටටත්, ඔබේ නිලධාරීන් හා ඔබේ ජනයා පිටටත්, ඔබේ නිවෙස් තුළටත් එවන්නෙමි. ඊජිප්තුවරුන්ගේ නිවාස පමණක් නො ව, ඔවුන් වෙසෙන භූමිය ද මැස්සන්ගෙන් පිරී යනු ඇත.
22“ ‘එහෙත් ඒ දවසේ මම මගේ ජනයා වෙසෙන ගෝෂෙන් පළාතෙහි වෙනසක් කරන්නෙමි. මැසි රංචු එකකුදු එහි නො වනු ඇත. එසේ කරන්නේ, ස්වාමින්වහන්සේ වන මා මේ දේශයේ සිටින වග ඔබ දැනගන්නා පිණිස ය. 23මගේ ජනයා හා ඔබේ ජනයා අතර මම පැහැදිලි වෙනසක් තබන්නෙමි. මේ අනුහස් ලකුණ හෙට දවසේ සිදු වනු ඇතැ’ යි” පැවසූ සේක.
24 ස්වාමින්වහන්සේ එසේ කළ සේක. අති මහත් මැසි රංචු පාරාවෝගේ මැදුරටත්, ඔහුගේ නිලධාරීන්ගේ නිවෙස් තුළටත් වැදුණහ. ඊජිප්තු දේශය මුළුල්ල ම මැස්සන්ගෙන් නැති නාස්ති විය.
25එවිට පාරාවෝ, මෝසෙස් හා ආරොන් කැඳවා, ඔවුන් අමතමින්, “යන්න; මේ දේශයේදී ම ඔබේ දෙවියන්වහන්සේට පුද පූජා පවත්වන්නැ” යි කීවේ ය.
26එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින්, “එසේ කිරීම සුදුසු නැත. අපේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට අප ඔප්පු කරන යාග පූජා ඊජිප්තුවරුනට පිළිකුල් ය. ඉදින්, ඔවුන්ගේ ඇස් හමුවේ පිළිකුල් සේ සැලකෙන යාග පූජා අප ඔප්පු කළහොත්, ඔවුන් අපට ගල් නො ගසාවි ද? 27උන්වහන්සේ අපට අණ කරන පරිද්දෙන් තුන් දවසක ගමනක් අප පාළුකරයට ගොස්, අපේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට යාග පූජා ඔප්පු කළ යුතු ව ඇතැ” යි කීවේ ය.
28එවිට පාරාවෝ කතා කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට යාග පූජා පවත්වන්නට පාළුකරයට යෑමට මම ඉඩ දෙන්නම්. එහෙත් ඔබ බොහෝ ඈතට නො යා යුතුයි. දැන් මා උදෙසා කන්නලව් කරන්නැ” යි ඉල්ලී ය.
29මෝසෙස් පිළිතුරු දෙමින්, “ඔබ වෙතින් මා ඉවත් ව ගිය විගස, මම ස්වාමින්වහන්සේට කන්නලව් කරන්නෙමි. මැසි රංචු හෙට පාරාවෝ වෙතින් ද ඔහුගේ නිලධාරීන් වෙතින් හා ඔහුගේ ජනයා වෙතින් ද ඉවත් ව යනු ඇත. එහෙත්, ස්වාමින්වහන්සේට යාග පූජා ඔප්පු කිරීමට ජනතාවට යන්නට නො දී, නැවතත් වංචනික ව ක්‍රියා නො කිරීමට පාරාවෝ වග බලා ගත යුතු යැ” යි පැවසී ය.
30ඉන්පසු, පාරාවෝ වෙතින් නික්ම ගිය මෝසෙස්, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. 31මෝසෙස් ඉල්ලූ දේ ස්වාමින්වහන්සේ ඉටු කළ සේක. මැස්සෝ පාරාවෝ වෙතින් ද ඔහුගේ නිලධාරීන් හා ඔහුගේ ජනයා වෙතින් ද ඉවත් ව ගියහ. එකකුදු ඉතිරි නො වී ය. 32එහෙත් මේ වතාවේදී ද තම හදවත දැඩි කර ගත් පාරාවෝ ජනයාට යන්නට දුන්නේ නැත.

දැනට තෝරාගෙන ඇත:

නික්මයාම 8: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න