නික්මයාම 8:6-24
නික්මයාම 8:6-24 SCV
එබැවින් ආරොන් ඊජිප්තුවේ ජල පිටට තම අත එසවී ය. එවිට මැඩි රංචු පැන නැගී, දේශය වසා ගත්හ. ඉන්ද්‍රජාලිකයෝ ද තම ගුප්ත ශිල්ප මගින් එය ම කළහ. ඔවුහු ද ඊජිප්තු දේශය පුරා මැඩියන් නැගී එන්නට සැලැස්වූහ. එවිට පාරාවෝ, මෝසෙස් හා ආරොන් කැඳවා, ඔවුන් අමතමින්, “මා වෙතින් හා මගේ ජනයා වෙතින් මේ මැඩියන් පහ කරන ලෙස ස්වාමින්වහන්සේට කන්නලව් කරන්න. ස්වාමින්වහන්සේට යාග ඔප්පු කරන්නට ඔබේ ජනයාට මම යන්නට දෙන්නෙමි” යි කීවේ ය. මෝසෙස් පාරාවෝට පිළිතුරු දෙමින්, “නයිල් ගඟේ පමණක් ඉතිරි ව සිටින ලෙස ඔබ වෙතින් ද ඔබේ නිවෙස්වලින් ද මැඩියන් පහ කර දමන පිණිස ඔබ උදෙසාත්, ඔබේ නිලධාරීන් හා ඔබේ ජනයා උදෙසාත් මා කන්නලව් කළ යුත්තේ කවර වෙලාවකදැයි කීමේ ගෞරවය ඔබ සතු යැ” යි කීවේ ය. “හෙට” යැයි පාරාවෝ පැවසී ය. මෝසෙස් පිළිතුරු දෙමින්, “ඔබ කී ලෙස ම වේවා! එසේ වන්නේ, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා සමාන අන් කෙනකුන් නොමැති වග ඔබ දැනගන්නා පිණිස ය. මැඩියන් ඔබ වෙතින් හා ඔබේ ගෙවලින් ද ඔබේ නිලධාරීන් හා ඔබේ ජනයා වෙතින් ද ඉවත් ව යනු ඇත. නයිල් ගඟේ පමණක් උන් ඉතිරි වනු ඇතැ” යි පැවසී ය. මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතින් නික්ම ගිය පසු, මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, පාරාවෝ පිටට උන්වහන්සේ පැමිණ වූ මැඩියන් ගැන කන්නලව් කළේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ගේ ඉල්ලීම ඉටු කළ සේක. නිවෙස්හි ද ගෙමිදුල්හි ද කෙත් වත්හි ද වූ මැඩියෝ මළහ. උන් එක් රැස් කොට, ගොඩවල් ගසන ලදී. එයින් දේශය දුගඳ විය. එහෙත් සහනයක් ලද වග දුටු පාරාවෝ, තම හද දැඩි කර ගත්තේ ය. ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත. ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “ආරොන්ට මෙසේ කියන්න, ‘ඔබේ සැරයටිය දිගු කොට, පොළොවේ දූවිල්ලට ගසන්න.’ එවිට, ඊජිප්තු දේශය මුළුල්ලේ දූවිල්ල කිනිතුල්ලන් බවට පත් වෙතැ” යි පැවසූ සේක. ඔවුහු එසේ කළහ. ආරොන් තම සැරයටිය ගෙන, අත දිගු කොට, පොළොවේ දූවිල්ලට ගැසූ කල, මිනිසුන් ද සතුන් ද පිට කිනිතුල්ලෝ නැග ආහ. ඊජිප්තු දේශය මුළුල්ලේ දූවිල්ල කිනිතුල්ලන් බවට හැරිණ. ඉන්ද්‍රජාලිකයින් ද තම ගුප්ත ශිල්ප මගින් කිනිතුල්ලන් උපදන්නට තැත් දැරූ නමුදු, ඔවුන්ට එය කළ නො හැකි විය. කිනිතුල්ලෝ මිනිසුන් පිටත්, සතුන් පිටත් වන්හ. එවිට ඉන්ද්‍රජාලිකයෝ පාරාවෝ අමතමින්, “මේ නම් දෙවියන්වහන්සේගේ ඇඟිල්ල යැ” යි කීහ. එහෙත්, පාරාවෝගේ හදවත දැඩි වූ නිසා, ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි ඔහු ඔවුන්ට සවන් දුන්නේ නැත. ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “අලුයම් උදෙන් නැගිට, පාරාවෝ ගඟට එන කල, ඔහු හමු වී, ඔහුට මෙසේ කියන්න. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මට නමස්කාර කරන පිණිස, මගේ ජනයාට යන්නට හරින්න. මගේ ජනයාට ඔබ යන්නට දෙන්නේ නැති නම්, මම මැසි සමූහ ඔබ පිටටත්, ඔබේ නිලධාරීන් හා ඔබේ ජනයා පිටටත්, ඔබේ නිවෙස් තුළටත් එවන්නෙමි. ඊජිප්තුවරුන්ගේ නිවාස පමණක් නො ව, ඔවුන් වෙසෙන භූමිය ද මැස්සන්ගෙන් පිරී යනු ඇත. “ ‘එහෙත් ඒ දවසේ මම මගේ ජනයා වෙසෙන ගෝෂෙන් පළාතෙහි වෙනසක් කරන්නෙමි. මැසි රංචු එකකුදු එහි නො වනු ඇත. එසේ කරන්නේ, ස්වාමින්වහන්සේ වන මා මේ දේශයේ සිටින වග ඔබ දැනගන්නා පිණිස ය. මගේ ජනයා හා ඔබේ ජනයා අතර මම පැහැදිලි වෙනසක් තබන්නෙමි. මේ අනුහස් ලකුණ හෙට දවසේ සිදු වනු ඇතැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ එසේ කළ සේක. අති මහත් මැසි රංචු පාරාවෝගේ මැදුරටත්, ඔහුගේ නිලධාරීන්ගේ නිවෙස් තුළටත් වැදුණහ. ඊජිප්තු දේශය මුළුල්ල ම මැස්සන්ගෙන් නැති නාස්ති විය.

