නික්මයාම 7:1-6

නික්මයාම 7:1-6 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙන්න! මම පාරාවෝට ඔබ දෙවියන්වහන්සේ මෙන් වන්නට සැලැස්වීමි. ඔබේ සහෝදර ආරොන්, ඔබේ දිවැසිවරයා වනු ඇත. මා ඔබට අණ කරන සියල්ල, ඔබ පැවසිය යුතු ය. තවද ඉශ්‍රායෙල් ජනයාට එරටින් පිට වී යෑමට ඉඩ දෙන ලෙස ඔබේ සහෝදර ආරොන්, පාරාවෝට කියන්නේ ය. එහෙත් පාරාවෝගේ හදවත මම දැඩි කරන්නෙමි. මා බහුල ව මගේ අනුහස් ලකුණු හා මගේ හාස්කම් ඊජිප්තුවේදී සිදු කළත්, ඔහු ඔබට සවන් දෙන්නේ නැත. එවිට මම මගේ හස්තය ඊජිප්තුව පිට හෙළා, විනිශ්චයේ බලගතු ක්‍රියාවලියකින් මගේ සේනාංක, එනම් මගේ ජනයා වූ ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි. ඊජිප්තුවට එරෙහිව මගේ හස්තය දිගු කොට, ඔවුන් වෙතින් ඉශ්‍රායෙල් ජනයා පිටතට ගෙනා කල, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගන්නවා ඇතැ” යි පැවසූ සේක. මෝසෙස් හා ආරොන් එසේ කළහ. ස්වාමින්වහන්සේ ඔවුන්ට අණ කළ පරිදි ම, ඔවුහු ක්‍රියා කළහ.