නික්මයාම 7:1-25

නික්මයාම 7:1-25 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙන්න! මම පාරාවෝට ඔබ දෙවියන්වහන්සේ මෙන් වන්නට සැලැස්වීමි. ඔබේ සහෝදර ආරොන්, ඔබේ දිවැසිවරයා වනු ඇත. මා ඔබට අණ කරන සියල්ල, ඔබ පැවසිය යුතු ය. තවද ඉශ්‍රායෙල් ජනයාට එරටින් පිට වී යෑමට ඉඩ දෙන ලෙස ඔබේ සහෝදර ආරොන්, පාරාවෝට කියන්නේ ය. එහෙත් පාරාවෝගේ හදවත මම දැඩි කරන්නෙමි. මා බහුල ව මගේ අනුහස් ලකුණු හා මගේ හාස්කම් ඊජිප්තුවේදී සිදු කළත්, ඔහු ඔබට සවන් දෙන්නේ නැත. එවිට මම මගේ හස්තය ඊජිප්තුව පිට හෙළා, විනිශ්චයේ බලගතු ක්‍රියාවලියකින් මගේ සේනාංක, එනම් මගේ ජනයා වූ ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි. ඊජිප්තුවට එරෙහිව මගේ හස්තය දිගු කොට, ඔවුන් වෙතින් ඉශ්‍රායෙල් ජනයා පිටතට ගෙනා කල, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගන්නවා ඇතැ” යි පැවසූ සේක. මෝසෙස් හා ආරොන් එසේ කළහ. ස්වාමින්වහන්සේ ඔවුන්ට අණ කළ පරිදි ම, ඔවුහු ක්‍රියා කළහ. ඔවුන් පාරාවෝට කතා කළ කල, මෝසෙස්ගේ වයස අවුරුදු අසූවකි. ආරොන්ට අවුරුදු අසූ තුනකි. ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, “ ‘නුඹලා උදෙසා සාක්ෂි වශයෙන් හාස්කමක් දක්වන්නැ’ යි පාරාවෝ කී කල්හි, ‘ඔබේ සැරයටිය ගෙන, පාරාවෝ ඉදිරියෙහි බිම හෙළන්නැ’ යි ආරොන්ට කියන්න. එවිට එය සර්පයකු වනු ඇතැ” යි කී සේක. එබැවින් පාරාවෝ වෙත ගිය, මෝසෙස් හා ආරොන්, ස්වාමින්වහන්සේ ඔවුන්ට අණ කර තිබූ පරිදි ම කළෝ ය. ආරොන් තමාගේ සැරයටිය පාරාවෝ ද ඔහුගේ නිලධාරීන් ද ඉදිරියේ බිම හෙළී ය. එවිට එය සර්පයකු බවට පත් විය. පාරාවෝ ද ප්‍රාඥයින් හා මන්තරකරුවන් කැඳවී ය. ඊජිප්තු ඉන්ද්‍රජාලිකයෝ තම ගුප්ත ශිල්ප මගින් ඒ දේ ම කළහ. ඔවුන් එක් එක්කෙනා තම තමාගේ සැරයටිය බිම හෙළූ කල, ඒවා සර්පයින් බවට පත් විණි. එහෙත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිල දැමී ය. එසේ වුව ද පාරාවෝගේ හදවත දැඩි විය. ස්වාමින්වහන්සේ කියා තිබූ පරිදි, ඔහු ඔවුන්ට සවන් දුන්නේ නැත. ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පාරාවෝගේ හදවත මුරණ්ඩුයි. ජනයාට යන්නට දීම ඔහු ප්‍රතික්ෂේප කරයි. උදෑසන පාරාවෝ දියට පිටත් ව යන කල, ඔහු හමුවීමට නයිල් ගං ඉවුරට වී සිටින්න. සර්පයකු බවට පත් සැරයටිය ඔබේ අතේ ගෙන යන්න. ඔබ ඔහුට මෙසේ කිය යුතුයි: ‘ඔබට මෙසේ කියන්නට හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මා එවූ සේක; පාළුකරයේදී මට නමස්කාර කරන්නට මගේ ජනයාට යන්නට දෙන්න. එහෙත් මේ දක්වාත් ඔබ ඊට සවන් දුන්නේ නැත. ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මා ස්වාමින්වහන්සේ වග ඔබ මෙයින් දැනගනු ඇත. මගේ අතේ ඇති සැරයටියෙන් මම නයිල් ගං ජලයට ගසන්නෙමි. එය ලේ බවට හැරෙනු ඇත. නයිල් ගඟේ මසුන් මැරෙනු ඇත. ගඟ දුගඳ වනු ඇත. ඊජිප්තුවරුන්ට එහි වතුර බොන්නට බැරි වෙතැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ට මෙසේ කියන්න: ‘ඔබේ සැරයටිය ගෙන, ඊජිප්තු-ජලය පිටට, ගංගා, ඇළදොළ, පොකුණු හා සියලු ජලාශ පිටට ඔබේ අත දිගු කරන්න.’ එවිට ඒවා ලේ බවට හැරෙනු ඇත. ඊජිප්තුවේ හැම තැනක ම, ලී බඳුන්, ගල් බඳුන්වල පවා ලේ ඇති වේ යැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් හා ආරොන් ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි කළහ. පාරාවෝ ද ඔහුගේ නිලධාරීන් ද ඉදිරිපිට ඔහු තම සැරයටිය ඔසවා, නයිල් ගං ජලයට ගැසී ය. එවිට නයිල් ගඟේ මුළු ජලය ලෙයට හැරිණ. නයිල් ගඟේ මත්සයෝ මළහ. ඊජිප්තුවරුනට එහි වතුර බීමට නො හැකි වන පරිදි ගඟ දුගඳ විය. ඊජිප්තුවේ හැම තැනක ම ලේ ඇති විය. එහෙත් ඊජිප්තු ඉන්ද්‍රජාලිකයෝ ඔවුන්ගේ ගුප්ත ශිල්ප මගින් එය ම කළහ. පාරාවෝගේ හදවත ද දැඩි විය. ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි, ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත. පාරාවෝ ආපසු හැරී, තම මැදුරට ගියේ ය. සිදු වූ දේ ඔහු සිතට ගත්තේ නැත. නයිල් ගඟේ ජලය පානය කළ නො හැකි නිසා ඊජිප්තුවරු සැවොම, පානීය ජලය සඳහා ගඟ අයින දිගේ කණින්නට වූහ. ස්වාමින්වහන්සේ නයිල් ගඟට පහර දුන් පසු දවස් හතක් ගෙවී ගියේ ය.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 7:1-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය