නික්මයාම 7:1-13

නික්මයාම 7:1-13 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙන්න! මම පාරාවෝට ඔබ දෙවියන්වහන්සේ මෙන් වන්නට සැලැස්වීමි. ඔබේ සහෝදර ආරොන්, ඔබේ දිවැසිවරයා වනු ඇත. මා ඔබට අණ කරන සියල්ල, ඔබ පැවසිය යුතු ය. තවද ඉශ්‍රායෙල් ජනයාට එරටින් පිට වී යෑමට ඉඩ දෙන ලෙස ඔබේ සහෝදර ආරොන්, පාරාවෝට කියන්නේ ය. එහෙත් පාරාවෝගේ හදවත මම දැඩි කරන්නෙමි. මා බහුල ව මගේ අනුහස් ලකුණු හා මගේ හාස්කම් ඊජිප්තුවේදී සිදු කළත්, ඔහු ඔබට සවන් දෙන්නේ නැත. එවිට මම මගේ හස්තය ඊජිප්තුව පිට හෙළා, විනිශ්චයේ බලගතු ක්‍රියාවලියකින් මගේ සේනාංක, එනම් මගේ ජනයා වූ ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි. ඊජිප්තුවට එරෙහිව මගේ හස්තය දිගු කොට, ඔවුන් වෙතින් ඉශ්‍රායෙල් ජනයා පිටතට ගෙනා කල, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගන්නවා ඇතැ” යි පැවසූ සේක. මෝසෙස් හා ආරොන් එසේ කළහ. ස්වාමින්වහන්සේ ඔවුන්ට අණ කළ පරිදි ම, ඔවුහු ක්‍රියා කළහ. ඔවුන් පාරාවෝට කතා කළ කල, මෝසෙස්ගේ වයස අවුරුදු අසූවකි. ආරොන්ට අවුරුදු අසූ තුනකි. ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, “ ‘නුඹලා උදෙසා සාක්ෂි වශයෙන් හාස්කමක් දක්වන්නැ’ යි පාරාවෝ කී කල්හි, ‘ඔබේ සැරයටිය ගෙන, පාරාවෝ ඉදිරියෙහි බිම හෙළන්නැ’ යි ආරොන්ට කියන්න. එවිට එය සර්පයකු වනු ඇතැ” යි කී සේක. එබැවින් පාරාවෝ වෙත ගිය, මෝසෙස් හා ආරොන්, ස්වාමින්වහන්සේ ඔවුන්ට අණ කර තිබූ පරිදි ම කළෝ ය. ආරොන් තමාගේ සැරයටිය පාරාවෝ ද ඔහුගේ නිලධාරීන් ද ඉදිරියේ බිම හෙළී ය. එවිට එය සර්පයකු බවට පත් විය. පාරාවෝ ද ප්‍රාඥයින් හා මන්තරකරුවන් කැඳවී ය. ඊජිප්තු ඉන්ද්‍රජාලිකයෝ තම ගුප්ත ශිල්ප මගින් ඒ දේ ම කළහ. ඔවුන් එක් එක්කෙනා තම තමාගේ සැරයටිය බිම හෙළූ කල, ඒවා සර්පයින් බවට පත් විණි. එහෙත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිල දැමී ය. එසේ වුව ද පාරාවෝගේ හදවත දැඩි විය. ස්වාමින්වහන්සේ කියා තිබූ පරිදි, ඔහු ඔවුන්ට සවන් දුන්නේ නැත.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 7:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය