නික්මයාම 6:1-13

නික්මයාම 6:1-13 SCV

එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “පාරාවෝට මා කරන දේ දැන් ඔබ දකිනු ඇත. මගේ බලගතු හස්තය හේතු කොට ඔහු ඔවුන්ට යන්නට දෙනු ඇත. මගේ බලවත් හස්තය නිසා, ඔහු තම රටින් ඔවුන් පලවා හරිනු ඇතැ” යි කී සේක. දෙවියන්වහන්සේ මෝසෙස් අමතමින්, “මම ස්වාමින්වහන්සේ ය. මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ වශයෙන් ප්‍රකාශ වුණෙමි. එහෙත්, ස්වාමින්වහන්සේ යන මගේ නාමයෙන් ඔවුනට මා හඳුන්වා නො දුන්නෙමි. විදෙස්සන් සේ ඔවුන් විසූ කානාන් දේශය, ඔවුන්ට දෙන ලෙසට මම මගේ ගිවිසුම ද ඔවුන් සමඟ පිහිටෙවුවෙමි. එපමණක් නො ව, ඊජිප්තුවරුන් විසින් දාස භාවයේ යොදවනු ලබන ඉශ්‍රායෙල් ජනයාගේ කෙඳිරිගෑම අසා, මම මගේ ගිවිසුම සිහි කළෙමි. “එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට කියන්න: මම ස්වාමින්වහන්සේ ය. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් මම ඔබ පිටතට ගෙනෙන්නෙමි. ඔවුන්ට වහල් ව සිටීමෙන් ඔබ නිදහස් කර, දිගු කළ බාහුවකින් හා විනිශ්චයේ බලගතු ක්‍රියා මගින් මම ඔබ මුදා ගන්නෙමි. මගේ ජනයා වශයෙන් ඔබ බාරගෙන, මම ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් ඔබ පිටතට ගෙන ආ ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග එවිට ඔබ දැනගනු ඇත. මගේ අත ඔසවා, ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද දෙන්නට මා දිවුළ දේශයට මම ඔබ ගෙන එන්නෙමි. මම එය උරුමයක් කොට ඔබට දෙන්නෙමි. මම ස්වාමින්වහන්සේ යැ” යි පැවසූ සේක. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට එය පැවසී ය. එහෙත් ඔවුන් තුළ වූ කලකිරීමත්, කුරිරු වහල් බන්ධනයත් නිසා, ඔවුන් ඔහුට සවන් දුන්නේ නැත. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඊජිප්තු රජ වූ පාරාවෝට කතා කොට, ඉශ්‍රායෙල් ජනයාට ඔහුගේ රටින් පිට වී යන්නට ඉඩ හරින්න කියා කියන්නැ” යි කී සේක. එහෙත් මෝසෙස් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ! ඉශ්‍රායෙල්වරුන් පවා මට සවන් නුදුන් කොට, කතාවෙහි පැකිළෙන තොල් ඇති මට පාරාවෝ සවන් දේවි දැ?” යි කීවේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ටත්, ආරොන්ටත් ඉශ්‍රායෙල්වරුන් හා ඊජිප්තු රජු වූ පාරාවෝ ගැන කතා කළ සේක්, ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමට, ඔවුන් දෙදෙනාට නියෝග කළ සේක.

නික්මයාම 6:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය