මෝසෙස් නිසි තැන පාද තල යොදා, ලෑලි නගා සිටුවා, හරස් පොලු දමා, කණු සිටුවා, මණ්ඩපය පිහිටුවී ය. ඉන්පසු ඔහු ස්වාමින්වහන්සේ තමාට අණ කර තිබූ පරිදි, මණ්ඩපයට ඉහළින් උඩු වියන් කූඩාරම විහිදුවා, උඩු වියන් කූඩාරමට උඩින් එහි වැස්ම එළී ය.
ඔහු සාක්ෂියේ ගල්ලෑලි ගෙන, කරඬුව තුළ බහා, කරඬුවට පොලු රුවා, කරඬුවට උඩින් කරුණාසනය තැබී ය. ඉන්පසු ඔහු කරඬුව, මණ්ඩපය තුළට ගෙන අවුත්, ආවරණ තිරය එල්ලා, සාක්ෂි කරඬුව ආවරණ කළේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ දී තිබූ පරිද්දෙනි.
මෝසෙස් තිරයට පිටතින් මණ්ඩපයේ උතුරු පැත්තේ හමුවීමේ කූඩාරම තුළ මේසය තබා, ස්වාමින්වහන්සේ ඉදිරියේ මේසය මත රොටි අතුළේ, ස්වාමින්වහන්සේ ඔහුට අණ දී තිබූ පරිද්දෙනි.
ඔහු පහන් රුක, හමුවීමේ කූඩාරම තුළ මේසයට මුහුණ ලා, මණ්ඩපයේ දකුණු පැත්තේ තබා, ස්වාමින්වහන්සේ ඉදිරියේ පහන් දැල්වූයේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ දී තිබූ පරිද්දෙනි.
මෝසෙස්, රන් පූජාසනය, හමුවීමේ කූඩාරම තුළ තිරයට ඉදිරිපිටින් තබා, සුගන්ධ ධූම ද්‍රව්‍ය දවාලූවේ, ස්වාමින්වහන්සේ ඔහුට අණ දී තිබූ පරිද්දෙනි.
ඉන්පසු ඔහු මණ්ඩපයේ පිවිසුම් දොරටු තිරය එල්ලී ය. ඔහු දවන යාග පූජාසනය, හමුවීමේ කූඩාරම වන මණ්ඩප පිවිසුම සමීපයේ පිහිටුවා, ඒ පිට දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ඔප්පු කළේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ දී තිබූ පරිද්දෙනි.
හමුවීමේ කූඩාරමත්, පූජාසනයත් අතරෙහි ජල බේසම තැබූ ඔහු, සේදීම් පිණිස එහි වතුර දැමී ය. මෝසෙස් ද ආරොන් හා ඔහුගේ පුතුන් ද තම අත් හා පා සෝදා ගත්තේ එයිනි. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි, හමුවීමේ කූඩාරමට ඇතුළු වන විටදී හා පූජාසනයට ළඟා වන විටදී, ඔවුහු එයින් සෝදා ගත්හ.
ඉන්පසු මෝසෙස් මණ්ඩපය හා පූජාසනය වටා මළුව ඉදිකර, මළුවේ පිවිසුම් දොරටු සඳහා වූ තිරය එල්ලී ය. මෙසේ මෝසෙස්, වැඩ නිම කළේ ය.
ස්වාමින්වහන්සේගේ
එවිට වලාකුළ හමුවීමේ කූඩාරම වසාලී ය; ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, මණ්ඩපය පුරවාලී ය.