නික්මයාම 4:10-23

නික්මයාම 4:10-23 SCV

එවිට මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, “අහෝ මා ස්වාමිනි, මීට ඉස්සර හෝ ඔබගේ සේවක මා සමඟ ඔබ කතා කළ පසුව හෝ කිසි දිනෙක මා කතාවෙහි දක්ෂයකු නො වේ. කීමෙහි-බිණීමෙහි මම අදක්ෂයෙක්මි” යි කීවේ ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “මිනිසාගේ මුඛය සෑදුවේ කවුරු ද? ඔහු ගොළු හෝ බිහිරි කරවන්නේ කවුරු ද? ඔහුට පෙනීම දෙන්නේ හෝ අන්ධවීමට සලසන්නේ කවුරු ද? ස්වාමින්වහන්සේ වන මම නො වෙම් ද? එබැවින් දැන් යන්න; කතාවට මම ඔබට උපකාර කරන්නෙමි. ඔබ කිය යුත්තේ මොනවාදැයි කියා දෙන්නෙමි” යි කී සේක. එහෙත් මෝසෙස්, “අහෝ ස්වාමිනි, කරුණාකර වෙන කෙනකු යවනු මැනවි” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේගේ කෝපය, මෝසෙස්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කරමින්, “ලෙවී වංශික ඔබේ සහෝදර ආරොන් ගැන කෙසේ ද? ඔහු චතුර ලෙස කතා කරන වග මම දනිමි. ඔහු දැනටමත් ඔබ හමුවට එමින් සිටියි. ඔබ දකින කල, ඔහුගේ හද පිනා යනු ඇත. ඔබ ඔහු අමතා, ඔහුගේ මුවට වචන දිය යුතු ය. මම ඔබ දෙදෙනාට කතාවට උපකාර කරමින්, කළ යුතු දෑ කියා දෙන්නෙමි. ඔබ වෙනුවට ඔහු ජනතාවට කතා කරනු ඇත. එය හරියට ඔහු, ඔබගේ මුඛය වීම ද ඔබ, ඔහුගේ දෙවියන්වහන්සේ මෙන් වීම ද වැනි ය. එහෙත් මේ සැරයටිය, ඔබගේ අතේ ගෙන යන්න. එමඟින් ඔබ අනුහස් ලකුණු පානු ඇතැ” යි කී සේක. ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිය වූ යෙත්රෝ වෙත ආපසු ගොස්, ඔහුට කතා කොට, “ඊජිප්තුවේ සිටින මගේ සහෝදර ජනයා වෙත ආපසු ගොස්, ඔවුන් තාමත් ජීවත් ව සිටීදැයි දැක බලාගන්නට යන්නට දෙන්නැ” යි ඉල්ලී ය. යෙත්රෝ මෝසෙස්ට උත්තර දෙමින්, “හොඳයි, සමාදානයෙන් යන්නැ” යි පැවසී ය. ස්වාමින්වහන්සේ මිදියන්හි දී මෝසෙස්ට කතා කොට, “ඊජිප්තුවට ආපසු යන්න; ඔබේ ජීවිතය නසන්නට සෙවූ සියලු දෙනා දැන් මිය ගොසිනැ” යි කියා තිබිණි. එබැවින් මෝසෙස් තම බිරිඳ හා තම පුතුන් බූරුවකු පිට නංවාගෙන, ඊජිප්තුව බලා ආපසු ගමන් ඇරඹී ය. මෝසෙස් තම අතේ දෙවියන්වහන්සේගේ සැරයටිය ගෙන ගියේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කළ සේක්, “ඔබ ඊජිප්තුවට ආපසු ගිය විට, කරන්නට මා ඔබට බලය දුන් හාස්කම් සියල්ල, පාරාවෝ ඉදිරියේ සිදු කරන්නට වග බලා ගන්න. එහෙත් ජනයාට යන්නට නො දෙන අයුරින් මම ඔහුගේ හද දැඩි කරන්නෙමි. එවිට නුඹ පාරාවෝට කතා කොට, ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඉශ්‍රායෙල් මගේ කුලුඳුල් පුත්‍රයායි. “මට නමස්කාර කරන පිණිස, මා පුතුට යන්නට දෙන්නැ” යි මම ඔබට කීවෙමි. එහෙත් ඔහුට යන්නට හැරීම ඔබ ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරා දමන්නෙමි කියා කියන්නැ’ යි” කී සේක.