නික්මයාම 36

36
1එබැවින් බෙසලෙල් ද ඔහොලියාබ් ද ශුද්ධස්ථානයේ හැම තැනීම් කාරියක් ම කෙසේ කළ යුතුදැයි දැනගැනීමට ස්වාමින්වහන්සේ විසින් නිපුණත්වය හා හැකියාව දෙන ලද හැම නිපුණ ශිල්පියකු ද ස්වාමින්වහන්සේ අණ කළ පරිදි, එම කටයුතු සියල්ල ඉටු කළ යුතු යැ” යි පැවසී ය.
2මෝසෙස් ඉන්පසු, බෙසලෙල් හා ඔහොලියාබ් ද ස්වාමින්වහන්සේ විසින් නිපුණත්වය දෙන ලද නිපුණ ශිල්පීන් ද ස්ව-කැමැත්තෙන් පැමිණ වැඩ කිරීමට පෙලඹුණු අය ද කැඳවී ය. 3ශුද්ධස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඉටු කරන පිණිස, ඉශ්‍රායෙල් ජනයා ගෙන අවුත් තිබූ පඬුරු සියල්ල, ඔවුහු මෝසෙස්ගෙන් බාර ගත්හ. ජනයා තවදුරටත් උදයක් පාසා, ස්වේච්ඡාවෙන් ම පුද පඬුරු ගෙන ආහ. 4එබැවින් ශුද්ධස්ථානයේ හැම වැඩක ම යෙදී සිටි නිපුණ ශිල්පීහු සැවොම තමන් කළ වැඩ නවතා, 5මෝසෙස්ට කතා කොට, “ස්වාමින්වහන්සේ කරන්නට අණ කළ කාරියට අවැසි පමණටත් බොහෝ වැඩියෙන් ජනයා පඬුරු ගෙනෙති” යි කීහ.
6එවිට මෝසෙස් නියෝගයක් නිකුත් කළෙන්, කඳවුර මුළුල්ලෙහි එය මෙසේ නිවේදන කෙරිණ. “ශුද්ධස්ථානයේ වැඩ සඳහා පුරුෂ හෝ ස්ත්‍රී කිසිවකුත් පුද පඬුරු වශයෙන් තවත් කිසිවක් නො ගෙනෙත්වා.” මෙසේ, තව තවත් ගෙන ඒමෙන්, ජනයා වළක්වන ලදහ. 7මන්ද ඒ වන විටත් තිබූ දෑ, සියලු වැඩ සඳහා අවැසි පමණටත් වඩා වැඩි වූ හෙයිනි.
කූඩාරම් මණ්ඩපය තැනීම
8නිර්මාණකරුවන් අතර වූ නිපුණ ශිල්පීහු තිර දහයකින් මණ්ඩපය සෑදූහ. එම තිර, නිපුණ ශිල්පියකු කළ කෙරුබ් රූ ගෙත්තමින් යුතු ව සියුම් ව වියන ලද හණ පිළියෙන් ද නිල්, දම් හා තද රත් පැහැති නූලෙන් ද සැදුම් ලදී. 9තිර සියල්ල දිගින් රියන් විසි අටක් ද පළලින් රියන් හතරක් ද යන වශයෙන් ප්‍රමාණයෙන් එක සමාන විය. 10තිර පහක්, එකිනෙකට මූට්ටු කළ ඔවුහු, අනෙක් තිර පහ ද එලෙස ම මූට්ටු කළහ. 11එක් තිර කට්ටලයක කෙළවර තිරයේ වාටිය දිගේ නිල් පැහැ රෙද්දෙන් පුඩු මැසූ ඔවුහු, අනෙක් තිර කට්ටලයේ කෙළවර තිරයේ ද එවැනි ම පුඩු මැසූහ. 12එක් තිරයක පුඩු පනහක් සෑදූ ඔවුහු, ඒ එකිනෙකට ප්‍රති සමාන්තර ව, දෙවන කට්ටලයේ කෙළවර තිර වාටියේ ද පුඩු පනහක් සෑදූහ. 13ඉන්පසු රන් ගාංචු පනහක් සෑදූ ඔවුහු, මණ්ඩපය තනි ඒකකයක් වන පරිදි, එම ගාංචුවලින් තිර කට්ටල දෙක එකට ඇමුණූහ.
14ඔවුහු මණ්ඩපයට ඉහළින් උඩු වියන් කූඩාරම සඳහා එළු ලොමින් තිර සෑදූහ. තිර ගණන එකොළහකි. 15දිගින් රියන් තිහක් ද පළලින් රියන් හතරක් ද බැගින් වූ මුළු තිර එකොළහ ම ප්‍රමාණයෙන් එක සමාන විය. 16ඔවුහු තිර පහක්, එක් කට්ටලයක් වශයෙන් ද සෙසු තිර හය තවත් කට්ටලයක් වශයෙන් ද එකට මූට්ටු කළහ. 17එක් තිර කට්ටලයක කෙළවර තිර වාටිය දිගේ පුඩු පනහක් සැදූ ඔවුහු, දෙවන තිර කට්ටලයේ කෙළවර තිර වාටිය දිගේ ද පුඩු පනහක් මැසූහ. 18ඔවුහු උඩු වියන් කූඩාරම තනි ඒකකයක් වන පරිදි තිර කට්ටල දෙක එකට අමුණන පිණිස, ලෝකඩ ගාංචු පනහක් සෑදූහ. 19ඉන්පසු රතු සායම් පෙවූ බැටළු හම්වලින් උඩු වියන් කූඩාරමට වැස්මක් සෑදූ ඔවුහු, ඊට උඩින් අතුරන තවත් වැස්මක් තහෂ්#36:19 නිශ්චිත ව නම් කළ නො හැකි සත්වයෙකි. ඩූගොං හෝ ඩොල්ෆින් හෝ විය හැක. හමින් තැනූහ.
20ඔවුහු මණ්ඩපය සඳහා කෙළින් සිටුවන ලෑලි, අකේෂියා ලීයෙන් සෑදූහ. 21එක් එක් ලෑල්ල, දිගින් රියන් දහයකි; පළලින් රියන් එකහමාරකි; 22ලෑලි, එකකට එකක් වැද්දීම සඳහා කුඩුම්බි දෙක බැගින් විය. මණ්ඩපයේ සියලු ලෑලි ඔවුන් සෑදුවේ එලෙසිනි. 23මණ්ඩපයේ දකුණු පැත්ත සඳහා ලෑලි විස්සක් සෑදූ ඔවුහු, 24එම ලෑලි යටි පැත්තේ එක් ලෑල්ලකට දෙක බැගින් එක් එක් කුඩුම්බියට යටින් සවි කරන රිදී පාද තල හතළිහක් ද සෑදූහ. 25මණ්ඩපයේ අනෙක් පැත්ත වන උතුරු පැත්ත සඳහා ද ලෑලි විස්සක් සෑදූ ඔවුහු, 26එම එක් එක් ලෑල්ල යටි පැත්තට දෙක බැගින් රිදී පාද තල හතළිහක් සෑදූහ. 27මණ්ඩපයේ ඈත කෙළවර වන එහි බටහිර පැත්ත සඳහා ලෑලි හයක් සෑදූ ඔවුහු, 28එම මණ්ඩපයේ ඈත කෙළවරේ කොන් සඳහා ලෑලි දෙකක් සෑදූහ. 29මෙම කොන් දෙකේදී ලෑලි, පතුලේ සිට මුදුන දක්වා ලෑලි යුගලයක් ව එක වළල්ලකට වද්දනු ලැබිණ. ඒ දෙක ම එක ලෙස සාදන ලදී. 30මෙසේ ලෑලි අටක් ද එක් එක් ලෑල්ල යටි පැත්තේ දෙක බැගින් රිදී පාද තල දාසයක් ද විය.
31තවද ඔවුහු අකේෂියා ලීයෙන් හරස් පොලු සෑදූහ. මණ්ඩපයේ එක් පැත්තක ලෑලි සඳහා හරස් පොලු පහක් ද 32අනෙක් පැත්තේ ලෑලි සඳහා හරස් පොලු පහක් ද මණ්ඩපයේ ඈත කෙළවර වන බටහිර පැත්තේ ලෑලි සඳහා හරස් පොලු පහක් ද යන වශයෙනි. 33මණ්ඩපයේ ඒ කොන සිට මේ කොන දක්වා ලෑලි මැදින් දිවෙන පරිදි ඔවුහු, මැද හරස් පොල්ල සෑදූහ. 34ලෑලි රනින් වසා, හරස් පොලු දැමීමට රන් වළලු සෑදූ ඔවුහු, හරස් පොලු ද රනින් වැසූහ.
35නිපුණ ගෙත්තම් ශිල්පීය නිමැවුමක් ව ගොතන ලද කෙරුබ් රූප සහිත සියුම් ව වියන ලද හණ පිළියෙන් ද නිල්, දම් සහ තද රත් පැහැති නූලෙන් ද ඔවුහු තිරය නිමවූහ. 36ඊට අකේෂියා ලීයෙන් කණු හතරක් සෑදූ ඔවුහු, ඒවා රනින් වැසූහ. ඔවුහු ඒවාට රන් කොකු හතරක් සාදා, රිදී පාද තල හතරක් ද වාත්තු කළහ. 37කූඩාරම් දොරටුව සඳහා ඔවුහු ගෙත්තම් ශිල්පීය නිමැවුමක් වූ කඩ තිරයක් නිල්, දම් හා තද රත් පැහැ නූලෙන් ද සියුම් ව වියන ලද හණ පිළියෙන් ද පිළියෙල කළහ. 38තවද ඔවුහු කණු පහක් ද ඒවාට කොකු ද සෑදූහ. කණු මුදුන් හා ඒවායේ පටි රනින් වැසූ ඔවුහු කණුවල පාද තල පහ ලෝකඩවලින් සෑදූහ.

දැනට තෝරාගෙන ඇත:

නික්මයාම 36: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න