නික්මයාම 34

34
නව ගල් පුවරු
1 ස්වාමින්වහන්සේ, මෝසෙස් ඇමතූ සේක්, “පළමු ඒවා වැනි ගල් පුවරු දෙකක් කපා ගන්න. ඔබ බිඳ දැමූ ඒ පළමු ගල් පුවරුවල සඳහන් ව තිබූ වචන, මම ඒවායේ ලියන්නෙමි. 2උදෑසනින් සූදානම් වී, උදෑසන සීනයි කන්දට නැග එන්න. කඳු මුඳුනේදී මා අබියස පෙනී සිටින්න. 3කිසි කෙනකු ඔබ සමඟ නො ආ යුතුයි. කිසි කෙනකු කන්දේ යම් තැනක දක්නට පවා නො සිටිය යුතුයි. එළු බැටළු, ගව රංචුවලට පවා කන්ද ඉදිරිපිට තණ නො කැවිය යුතු යැ” යි පැවසූ සේක.
4එබැවින් මෝසෙස් පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපාගෙන, තමාට ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි අරුණ උදෙන් නැගිට, සීනයි කන්දට නැංගේ ය. ගල් පුවරු දෙක, ඔහු තම දෑතේ ගෙන ගියේ ය. 5ස්වාමින්වහන්සේ එවිට වලාකුළ සහිත ව පහත බැස අවුත්, ඔහු සමඟ එහි සිට, ස්වාමින්වහන්සේ යන උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කළ සේක. 6ස්වාමින්වහන්සේ මෝසෙස් ඉදිරියෙන් ඔහු පසු කර වඩිමින්, මෙසේ ප්‍රකාශ කළ සේක: “ස්වාමින්වහන්සේ, ස්වාමින්වහන්සේ, අනුකම්පා සහගත වූ දයාන්විත වූ වහා නො කිපෙන සුළු වූ නොමියෙන ප්‍රේමයෙන් හා විශ්වාසී භාවයෙන් අපරිමිත වූ දෙවියන්වහන්සේ ය; 7දහස් ගණනකට නොමියෙන ප්‍රේමය පානා සේක්, දුෂ්ටකමට, අපරාධයට හා පාපයට කමාව දෙන සේක. එහෙත් වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක්, පියවරුන්ගේ පාපයට දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් යන වශයෙන් තුන් වන හා හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක.”
8වහා බිමට නැමී, නමස්කාර කළ මෝසෙස්, 9“අහෝ ස්වාමිනි, ඔබවහන්සේගේ ඇස් හමුවේ මා ප්‍රසාදය ලබා ඇත්නම්, ස්වාමින් අප මධ්‍යයෙහි ගමන් කරන සේක්වා! මේ ජනයා මහ මුරණ්ඩු ජනතාවක් වුව ද අපගේ දුෂ්ටකමටත්, අපගේ පාපයටත් කමා වුව මැනව. ඔබගේ උරුමය කොට අප පිළිගත මැනව” යි අයැදී ය.
10 ස්වාමින්වහන්සේ කතා කරමින්, “මෙන්න, මම දැන් ගිවිසුමක් කරන්නෙමි. මුළු ලොව කිසි තැනක හෝ යම් ජාතියක් අතරේ හෝ නො කරන ලද අරුම පුදුම දේ, ඔබේ මුළු ජනයා ඉදිරියේ මම දක්වන්නෙමි. ඔබ වෙසෙන්නේ කවර ජනතාවක් මධ්‍යයේ ද, අන්න ඒ ජනයා, ස්වාමින්වහන්සේ වන මා ඔබ උදෙසා මොන තරම් භයානක වැඩ සිදු කරනවා ද යන වග දකිනු ඇත. 11අද දවසේ මා ඔබට අණ කරන දෑට කීකරු වන්න. මෙන්න, මම ඔබ ඉදිරිපිටින් අමෝරිවරුන් හා කානානිවරුන් ද හිත්තිවරුන් හා පෙරිස්සිවරුන් ද හිවීවරුන් හා යෙබූසිවරුන් ද පන්නා දමන්නෙමි. 12ඔබ යන දේශයේ පදිංචිකරුවන් සමඟ කිසි ගිවිසුමකට නො බැඳීමට වග බලා ගන්න. නැතහොත් ඔවුන් ඔබට මර උගුලක් වනු ඇත. 13ඔවුන්ගේ පූජාසන කඩා දමන්න. ඔවුන්ගේ පූජනීය ගල් කුලුනු බිඳ දමන්න. අෂේරා කණු කපා දමන්න. 14අන් කිසි දෙවියකුට නමස්කාර නො කරන්න. මන්ද ඊර්ෂ්‍යා සහගත නම් වූ ස්වාමින්වහන්සේ ඊර්ෂ්‍යා සහගත#34:14 ඊර්ෂ්‍යා සහගත එනම් අන්‍ය භක්ති නො ඉවසන දෙවියන්වහන්සේ කෙනෙක.
15“ඒ දේශයේ පදිංචිකරුවන් සමඟ කිසි ගිවිසුමකට නො බැඳීමට වග බලා ගන්න. මන්ද ඔවුන් තම දෙවිවරුන් සමඟ අනාචාරකම් කොට, ඔවුනට දොළ පිදේනි පුදන කල, ඔබටත් ඇරියුම් ලැබ, ඔබත් ඒ දොළ පිදේනි බුදිනු ඇති බැවිනි. 16තවද ඔබ ඔවුන්ගේ දූවරුන්, ඔබගේ පුතුන්ට භාර්යාවන් කොට ගත් කල, එම දූවරුන් ද තම දෙවිවරුන් සමඟ අනාචාරකම් කොට, ඔබගේ පුතුන් ද එසේ කිරීමට පොලඹවනු ඇති බැවිනි.
17“වාත්තු දේව පිළිම සාදා නො ගන්න.
18“මුහුන් නුමුසු රොටි මංගල්‍යය ඔබ පැවැත් විය යුතු ය. මා ඔබට අණ කළ පරිදි, දින හතක් මුහුන් රහිත රොටි අනුභව කළ යුතු ය. ආබීබ් මාසයේ ඊට නියමිත දවස්හි දී එසේ කරන්න. මන්ද ඊජිප්තුවෙන් පිටතට ඔබ පැමිණියේ ඒ මාසයේදී ය.
19“හැම ගර්භයක ම ප්‍රථම පල අයිති මට ය. ඔබගේ ගව හා එළු බැටළු රංචු යන ඔබගේ මුළු සත්ව සම්පතෙහි පිරිමි කුලුඳුලන් ද ඊට ඇතුළත් ය. 20හැම කුලුඳුල් බූරුවකු ම බැටළු පැටවකු බැගින් දී මුදා ගත යුතු ය. ඔබ ඌ මුදා නො ගන්නේ නම්, උගේ බෙල්ල කඩා දැමිය යුතු ය. ඔබගේ පුත්‍රයින් අතර සියලු කුලුඳුලන් ඔබ මුදා ගත යුතු ය.
“කිසිවකුත් මා ඉදිරියට හිස් අතින් නො පැමිණිය යුතු ය.
21“හය දවසක් ඔබට වැඩ කළ හැකි ය. එහෙත් හත් වන දවසේ, ඔබ විවේක ගත යුතු ය. බිම හානා කාලයේදී හා අස්වැන්නේදී පවා ඔබ විවේක ගත යුතු ය.
22“තිරිඟු අස්වැන්නේ ප්‍රථම පල සමඟ සති මංගල්‍යය ද වසර අවසානයේදී පල එක් රැස් කිරීමේ මංගල්‍යය ද ඔබ විසින් පැවැත් විය යුතු ය. 23අවුරුද්දකට තුන් වරක් ඔබේ සියලු පිරිමින්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන පරමාධිපති ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ය. 24මම ඔබ ඉදිරිපිටින් ජාතීන් පලවා හැර, ඔබගේ දේශ සීමා පුළුල් කරන්නෙමි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටීමට, හැම වසරක ම තුන් වතාවක් ඔබ පිටත් ව යන කල, කිසිවකුදු ඔබගේ භූමියට තෘෂ්ණා නො කරනු ඇත.
25“මගේ යාග පූජා ලේ සමඟ මුහුන් සහිත කිසිවක් ඔප්පු නො කළ යුතු ය. පාස්කු මංගල්‍ය යාග-පූජාවෙන් කිසිවක් උදය වන තුරු නො තබා ගත යුතු ය.
26“ඔබේ භූමියේ ප්‍රථම පලවල හොඳ ම දේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහයට රැගෙන ආ යුතු ය.
“එළු පැටවකු, උගේ ම මවගේ කිරෙන් නො පිසින්නැ” යි පැවසූ සේක.
27ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මේ වචන ලියාගන්න. මන්ද මම, ඔබ සමඟත්, ඉශ්‍රායෙල් ජනයා සමඟත් ගිවිසුමක් කළේ, මේ වචනවලට අනුකූලව යැ” යි පැවසූ සේක. 28මෝසෙස් දහවල හතළිහක් හා රෑ හතළිහක් ස්වාමින්වහන්සේ සමඟ එහි ගත කළේ අහරක් නො ගෙන, වතුර නො බී සිටිමිනි. ඔහු ගිවිසුමේ වචන වන දස පනත ගල් පුවරුවල ලීවේ ය.
මෝසෙස්ගේ මුහුණේ දීප්තිය
29මෝසෙස් සීනයි කන්දෙන් පහළ බැස ආවේ, ගිවිසුමේ ගල් පුවරු දෙක ද අතැතිව ය. ඔහු ස්වාමින්වහන්සේ සමඟ කතා කරමින් සිටි බැවින් කන්දෙන් බසිද්දී, මෝසෙස්ගේ මුහුණ බැබළෙන දීප්තියෙන් යුතු වූ වග ඔහු නො දත්තේ ය. 30ආරොන් හා සියලු ඉශ්‍රායෙල්වරු මෝසෙස් දුටු කල, මෙන්න! ඔහුගේ මුහුණේ බැබළෙන දීප්තියක් විය. එනිසා ඔහු ළඟට එන්නට ඔවුහු භය වූහ. 31එහෙත් මෝසෙස් ඔවුනට අඬගැසී ය. එවිට ආරොන් ද සමූහයාගේ නායකයින් සැවොම ද යළි ඔහු වෙත ආහ. ඔහු ඔවුන් හා කතා කළේ ය. 32ඉන්පසු සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ළඟට ආහ. එවිට ඔහු, සීනයි කන්දේදී ස්වාමින්වහන්සේ ඔහුට පැවසූ නියෝග ඔවුනට දුන්නේ ය.
33මෝසෙස් ඔවුන් හා කතා කර නිම වූ පසු, තම මුහුණට වැස්මක් දමා ගත්තේ ය. 34එහෙත්, උන්වහන්සේ හා කතා කිරීමට ස්වාමින්වහන්සේගේ අභිමුඛයට පිවිසෙන කල, ආපසු පිටතට එන තෙක්, මෝසෙස් මුහුණු වැස්ම ගලවා තැබී ය. එසේ පිටතට පැමිණි පසු, ඔහු තමා ලද නියෝග ඉශ්‍රායෙල්වරුන්ට පවසන්නේ ය. 35එකල ඔහුගේ මුහුණේ දීප්තිය ඔවුනට පෙනේ. එවිට, මෝසෙස් යළි ස්වාමින්වහන්සේ සමඟ කතා කරන්නට යන තෙක්, තම මුහුණ වසා මුහුණු වැස්ම දමා ගන්නේ ය.

දැනට තෝරාගෙන ඇත:

නික්මයාම 34: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න