නික්මයාම 34:18-28
නික්මයාම 34:18-28 SCV
“මුහුන් නුමුසු රොටි මංගල්‍යය ඔබ පැවැත් විය යුතු ය. මා ඔබට අණ කළ පරිදි, දින හතක් මුහුන් රහිත රොටි අනුභව කළ යුතු ය. ආබීබ් මාසයේ ඊට නියමිත දවස්හි දී එසේ කරන්න. මන්ද ඊජිප්තුවෙන් පිටතට ඔබ පැමිණියේ ඒ මාසයේදී ය. “හැම ගර්භයක ම ප්‍රථම පල අයිති මට ය. ඔබගේ ගව හා එළු බැටළු රංචු යන ඔබගේ මුළු සත්ව සම්පතෙහි පිරිමි කුලුඳුලන් ද ඊට ඇතුළත් ය. හැම කුලුඳුල් බූරුවකු ම බැටළු පැටවකු බැගින් දී මුදා ගත යුතු ය. ඔබ ඌ මුදා නො ගන්නේ නම්, උගේ බෙල්ල කඩා දැමිය යුතු ය. ඔබගේ පුත්‍රයින් අතර සියලු කුලුඳුලන් ඔබ මුදා ගත යුතු ය. “කිසිවකුත් මා ඉදිරියට හිස් අතින් නො පැමිණිය යුතු ය. “හය දවසක් ඔබට වැඩ කළ හැකි ය. එහෙත් හත් වන දවසේ, ඔබ විවේක ගත යුතු ය. බිම හානා කාලයේදී හා අස්වැන්නේදී පවා ඔබ විවේක ගත යුතු ය. “තිරිඟු අස්වැන්නේ ප්‍රථම පල සමඟ සති මංගල්‍යය ද වසර අවසානයේදී පල එක් රැස් කිරීමේ මංගල්‍යය ද ඔබ විසින් පැවැත් විය යුතු ය. අවුරුද්දකට තුන් වරක් ඔබේ සියලු පිරිමින්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන පරමාධිපති ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ය. මම ඔබ ඉදිරිපිටින් ජාතීන් පලවා හැර, ඔබගේ දේශ සීමා පුළුල් කරන්නෙමි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටීමට, හැම වසරක ම තුන් වතාවක් ඔබ පිටත් ව යන කල, කිසිවකුදු ඔබගේ භූමියට තෘෂ්ණා නො කරනු ඇත. “මගේ යාග පූජා ලේ සමඟ මුහුන් සහිත කිසිවක් ඔප්පු නො කළ යුතු ය. පාස්කු මංගල්‍ය යාග-පූජාවෙන් කිසිවක් උදය වන තුරු නො තබා ගත යුතු ය. “ඔබේ භූමියේ ප්‍රථම පලවල හොඳ ම දේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහයට රැගෙන ආ යුතු ය. “එළු පැටවකු, උගේ ම මවගේ කිරෙන් නො පිසින්නැ” යි පැවසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මේ වචන ලියාගන්න. මන්ද මම, ඔබ සමඟත්, ඉශ්‍රායෙල් ජනයා සමඟත් ගිවිසුමක් කළේ, මේ වචනවලට අනුකූලව යැ” යි පැවසූ සේක. මෝසෙස් දහවල හතළිහක් හා රෑ හතළිහක් ස්වාමින්වහන්සේ සමඟ එහි ගත කළේ අහරක් නො ගෙන, වතුර නො බී සිටිමිනි. ඔහු ගිවිසුමේ වචන වන දස පනත ගල් පුවරුවල ලීවේ ය.

