නික්මයාම 33:7-23

නික්මයාම 33:7-23 SCV

මෝසෙස් කූඩාරමක් රැගෙන කඳවුරට පිටතින්, ඊට මදක් ඈතින්, එය පිහිටුවන්නට පුරුදු ව සිටියේ ය. ඔහු එය හැඳින්වූයේ, “හමුවීමේ කූඩාරම” නමිනි. ස්වාමින්වහන්සේගෙන් විචාරණ කවරෙක් වුව, කඳවුරෙන් පිටත මෙම හමුවීමේ කූඩාරම වෙත ගියේ ය. මෝසෙස් කූඩාරම වෙත පිටත් ව ගිය අවස්ථාවන්හි, ජනයා සැවොම නැගිට, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිටගෙන, මෝසෙස් කූඩාරමට ඇතුළු වන තෙක් බලා සිටියහ. මෝසෙස් කූඩාරම තුළට වන් කල, වලා ටැඹ පහත බැස අවුත්, කූඩාරම් දොරකඩ පිහිටා සිටියේ ය. එකල ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක. වලා ටැඹ කූඩාරම් දොරකඩ පිහිටා සිටිනු දකින කල, ජනයා සියල්ලෝ තම තමන්ගේ කූඩාරම් දොරකඩ නැගිට, නමස්කාර කළෝ ය. මිනිසකු තම මිතුරා සමඟ සාමීචියේ යෙදෙන්නා සේ, ස්වාමින්වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු මෝසෙස් කඳවුරට පෙරළා පැමිණියේ ය. එහෙත් නූන්ගේ පුත්, ඔහුගේ සහායක තරුණ යෝෂුවා කූඩාරම හැර නො ගියේ ය. ස්වාමින්වහන්සේගේ මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, “බැලුව මැනව, ‘මේ ජනයා කැඳවාගෙන යන්නැ’ යි ඔබ මට කියන නමුදු මා සමඟ යෑමට ඔබ එවන්නේ කවුරුදැයි කීවේ නැත. තවද ඔබවහන්සේ කතා කොට, ‘නමින් ම මම ඔබ හඳුනමි. මගේ ප්‍රසාදය ඔබට ලැබී ඇතැ’ යි කී සේක. ඔබවහන්සේ මා හා ප්‍රසන්න නම්, මට ඔබගේ මාර්ග ඉගැන්වුව මැනව. එවිට ඔබ හැඳින, ඔබගේ ප්‍රසන්නතාවෙහි පැවත සිටින්නට මට හැකි වෙයි. මේ ජාතිය ඔබගේ ජනයා බැව් ද සිහි කළ මැනව” යි කීවේ ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ අභිමුඛය ඔබ සමඟ යනු ඇත. මම ඔබට විවේකය දෙන්නෙමි” යි පැවසූ සේක. එවිට මෝසෙස් උන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේගේ අභිමුඛය අප සමඟ යන්නේ නැති නම්, මෙතැනින් එහාට අප නො යැවුව මැනව. ඔබවහන්සේ මා සමඟත්, ඔබගේ මේ ජනයා සමඟත් ප්‍රසන්න වග අන් අය දැනගන්නේ, ඔබවහන්සේ අප සමඟ යෑමෙන් මිස වෙන කොහොම ද? මේ පොළෝ තලේ වෙසෙන අන් ජාතීන් අතරින් මාත්, ඔබගේ මේ ජනයාත් වෙන් කර හැඳිනගත හැක්කේ අන් කෙලෙසක දැ?” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “ඔබ ඉල්ලූ මේ දේත් මම ඉටු කරන්නෙමි. මන්ද මගේ ඇස් හමුවේ ඔබට මගේ ප්‍රසාදය ලැබී තිබේ. නමින් ම මම ඔබ හඳුනමි” යි පැවසූ සේක. එවිට මෝසෙස්, “අහෝ මට ඔබගේ තේජෝ මහිමය පෙන්වුව මැනව” යි අයැදී ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මම මගේ මුළු ගුණවන්තකම ඔබ ඉදිරිපිටින් යන්නට සලසමි. ස්වාමින්වහන්සේ යන මගේ නාමය ඔබ ඉදිරියේ, ප්‍රකාශ කරන්නෙමි. යමකුට දයාව පෑමට මා කැමති නම්, මම ඒ අයට දයාව පාන්නෙමි. යමකුට අනුකම්පා වන්නට මා කැමති නම්, මම ඒ අයට අනුකම්පා කරන්නෙමි. එහෙත් මගේ මුහුණ දකින්නට ඔබට නුපුළුවන. මන්ද කිසි කෙනකුට මා දැක, ජීවත් වන්නට නුපුළුවනැ” යි පැවසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ යළි කතා කරමින්, “මෙන්න! මා අසල තැනක් තිබේ. එතැන පර්වතය පිට ඔබට සිටගත හැකියි. එවිට, මගේ තේජෝ මහිමය ඔබ පසු කර යන කල, මම පර්වතයේ විවරයක් තුළ ඔබ හිඳුවා, මා ඔබ පසු කර යන තෙක්, මගේ අතින් ඔබ ආවරණ කරන්නෙමි. ඉන්පසු මම මගේ අත ඉවතට ගන්නෙමි. එවිට ඔබ මගේ පිටුපස දකිනු ඇත. එහෙත් මගේ මුහුණ දැකිය නො හැකි යැ” යි පැවසූ සේක.