නික්මයාම 32:9-14

නික්මයාම 32:9-14 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මා මේ ජනයා දුටුවා. ඔවුන් තද මුරණ්ඩු ජනතාවක්. ඔවුන්ට විරුද්ධ ව මගේ කෝපය ඇවිළී, මවිසින් ඔවුන් විනාශ කර දමන්නට මට ඉඩ දෙන්න. පසුව මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි” යි කී සේක. එහෙත් මෝසෙස්, තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ආයාචනා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මහා බලයකින් හා බලගතු හස්තයකින් ඔබ ම ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ ඔබගේ ම ජනයාට එරෙහිව ඔබගේ කෝපය ඇවිළෙන්නේ ඇයි? ඊජිප්තුවරුන් කතා කරමින්, ‘උන්වහන්සේ ඔවුන් පිටතට ගෙන ගොස් ඇත්තේ, කඳුකරයේදී ඔවුන් මරා දමා, පොළෝ තලයෙන් ඔවුන් අතු ගා දමන නපුරු චේතනාවකිනි’ යි කියන්නට ඉඩ සලසන්නේ ඇයි? ඇවිළෙන ඔබේ කෝපය නිවාගත මැනව. සිත වෙනස් කර ගත මැනවි. ඔබේ ජනතාව පිටට මේ විපත්තිය නො පැමිණෙවුව මැනව. ඔබගේ සේවකයින් වූ ආබ්‍රහම් ද ඊසාක් ද ඉශ්‍රායෙල් ද සිහි කළ මැනව. ඔබ ඔවුන්ට ඔබගේ ම නාමයෙන් දිවුරුමින්, ‘ඔබගෙන් පැවත එන්නන් අහසේ තරු මෙන් අසංඛ්‍ය වන්නට සලසමි. මා පොරොන්දු වූ මේ මුළු දේශය, ඔබෙන් පැවත එන්නන්ට දෙන්නෙමි. සදහට ම එය ඔවුන්ට උරුම වනු ඇතැයි’ පැවසූ සේක් නො වේ දැ?” යි කන්නලව් කළේ ය. එවිට ස්වාමින්වහන්සේ තම සිත වෙනස් කර, ස්වකීය ජනතාවට කරන්නේ ය කියූ විපත්තිය නො පැමිණෙවු සේක.