නික්මයාම 3:7-12

නික්මයාම 3:7-12 SCV

එවිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඊජිප්තුවේදී මගේ ජනයාගේ දුක්ඛිතභාවය මම හොඳින් ම දුටිමි. තම වැඩ විදානේවරුන් නිසා ඔවුන් නගන අඳෝනාව මම ඇසීමි. ඔවුන් විඳින පීඩාව මම දනිමි. එනිසා ඊජිප්තුවරුන් අතින් ඔවුන් මුදා ගන්නටත්, ඒ දේශයෙන් පිටතට ඔවුන් ගෙනැවිත්, සාරවත් සුවිසල් දේශයකට, එනම් කානානිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද නිවහන වූ කිරි හා පැණි ගලා යන දේශයකට ඔවුන් ගෙන යන්නටත් මම පහළ බැස ආවෙමි. මෙන්න, දැන්! ඉශ්‍රායෙල් ජනයාගේ අඳෝනාව මා වෙත ළඟා වෙලා! ඊජිප්තුවරුන් ඔවුන්ට පීඩා කරන හැටි ද මම දැක්කෙමි. එබැවින් දැන් එන්න; මගේ ජනතාව වන ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන පිණිස, පාරාවෝ වෙත මම ඔබ යවන්නෙමි” යි පැවසූ සේක. එහෙත් මෝසෙස් දෙවියන්වහන්සේ අමතමින්, “මම! පාරාවෝ වෙත යන්නටත්, ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමටත් මා කවුරු දැ?” යි කී ය. දෙවියන්වහන්සේ පිළිතුරු දෙමින්, “මම, ඔබ සමඟ සිටිමි. ඔබ යවනු ලබන්නේ මා විසින් ය යන වගට ඔබට ලකුණක් මෙන්න; ඔබ ඊජිප්තුවෙන් පිටතට ජනයා ගෙන ආ කල, නුඹලා මේ කන්දේ දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇතැ” යි පැවසූ සේක.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 3:7-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය