නික්මයාම 17:8-16

නික්මයාම 17:8-16 SCV

අමලෙක්වරු අවුත්, රෙෆීදිම්හි දී ඉශ්‍රායෙල්වරුන්ට පහර දුන්හ. එවිට මෝසෙස් යෝෂුවාට කතා කොට, “අපට මිනිසුන් තෝරා ගෙන, අමලෙක් හා සටනට පිටත් වන්න. හෙට මම දෙවියන්වහන්සේගේ සැරයටියත් අතැතිව, හෙල මුඳුනේ සිටගන්නෙමි” යි කීවේ ය. මෙසේ යෝෂුවා තමාට මෝසෙස් අණ කළ පරිදි, අමලෙක්වරුන් හා සටන් වැදුණු අතර මෝසෙස් ද ආරොන් ද හූර් ද හෙල මුඳුනට නැගුණහ. මෝසෙස් තම අත් ඔසවාගෙන සිටි තාක්, ඉශ්‍රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහත හෙළූ කල, අමලෙක්ට ජය අත් විය. මෝසෙස්ගේ අත් විඩාබර විය. එවිට ඔවුහු ගලක් ගෙන, ඔහුට පිටුපසින් තැබූහ. ඔහු ඒ මත වාඩි විය. ආරොන් සහ හූර් එකකු එක් පසෙකින් ද අනෙකා අනෙක් පසින් ද සිට, ඔහුගේ අත් ඔසවා තබා ගත්හ. මෙසේ හිරු බස්නා තෙක් ම ඔහුගේ අත් ස්ථාවර ව පැවතිණ. එබැවින් යෝෂුවා කඩුපතින් අමලෙක් සේනාංක පැරදවී ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “මතක සටහන් වශයෙන් මේ ගැන පොතක ලියා, එය යෝෂුවාට ඇසෙන්නට සලස්වන්න. මන්ද අමලෙක් පිළිබඳ මතකය මම අහස යටින් මුළුමනින් පිස දමන්නෙමි” යි පැවසූ සේක. මෝසෙස් පූජාසනයක් ගොඩ නගා, එයට යෙහෝවා-නිස්සී යයි නම් තැබී ය. “ස්වාමින්වහන්සේගේ සිහසුනට අත් ඔසවනු ලැබූ බැවින් පරපුරින් පරපුරට ස්වාමින්වහන්සේ අමලෙක්ට එරෙහිව යුද්ධ වදින සේකැ” යි ඔහු පැවසී ය.

නික්මයාම 17:8-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය