නික්මයාම 17:3-7

නික්මයාම 17:3-7 SCV

එහෙත් දිය පිපාසිත වූ ජනතාව, මෝසෙස්ට එරෙහිව කොඳුරමින්, “අපත්, අපේ දරුවනුත්, අපේ සත්ව සම්පතත් පිපාසයෙන් මරා දමන්නට, නුඹ ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවේ කුමට දැ?” යි කීහ. එවිට මෝසෙස් ස්වාමින්වහන්සේට මොර ගසමින්, “මේ මිනිස්සුන් සමඟ මා මොනවා කරන්න ද? ඔවුන් දැනටමත් මට ගල් ගසන්නට ලැහැස්ති යැ” යි පැවසී ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “ජනයාට මදක් පෙරටුවෙන් ගමන් කරමින්, ඉශ්‍රායෙල් වැඩිහිටියන් කීප දෙනකු ද කැටිව, නයිල් ගඟට ඔබ ගැසූ සැරයටිය ඔබේ අතින් ගෙන, යන්න. ඔන්න! මම හොරේබ්හි පර්වතය පිට ඔබ ඉදිරියේ එහි සිටින්නෙමි. පර්වතයට ගසන්න; එවිට ජනයාට බීමට ජලය එයින් නික්ම එතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිහිටියන්ගේ ඇස් හමුවේ එසේ කළේ ය. ඉශ්‍රායෙල් ජනයා කලහ කළ නිසාත්, “ස්වාමින්වහන්සේ අප සමඟ වේ ද? නො වේ ද?” කියමින් ඔවුන් ස්වාමින්වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඔහු එම ස්ථානය මස්සා හා මෙරීබා යැයි හැඳින් වී ය.