ඉශ්‍රායෙල් ජනයා පලා ගොස් ඇති වග, ඊජිප්තු රජුට සැල වූ කල, පාරාවෝ හා ඔහුගේ නිලධාරීහු තම අදහස් වෙනස් කර ගනිමින්, “මොකක් ද මේ අප කර ගත්තේ! ඉශ්‍රායෙල්වරුන්ට යන්නට දීමෙන්, අප ඔවුන්ගේ සේවය නැති කර ගත්තා” යි කීහ. එබැවින් ඔහු තම යුද්ධ රථය සූදානම් කරවා, තම හමුදාව ද කැඳවා ගත්තේ ය. ඔහු හොඳ ම යුද්ධ රථ හයසීයක් ද ඊජිප්තුවේ සෙසු සියලු යුද්ධ රථ ද ඒ හැම භාර නිලධාරීන් ද සපයා ගත්තේ ය. ස්වාමින්වහන්සේ ඊජිප්තු රජු වූ පාරාවෝගේ හද දැඩි කළෙන්, එඩිතර ව ගමනේ යෙදුණු ඉශ්‍රායෙල්වරුන් පසු පස ඔහු හඹා ගියේ ය. පාරාවෝගේ සියලු අශ්වයින් හා අස්රිය ද ඔහුගේ අසරුවන් හා ඔහුගේ හමුදාව ද යන ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ, බාල්-සෙෆොන් අබියස පී-හහිරොත් අසල මුහුද අද්දර කඳවුරු ලා සිටි ඔවුන්ට කිට්ටු කළෝ ය. පාරාවෝ ළං වෙත් ම, ඉශ්‍රායෙල් ජනයා හැරී බැලූ කල, මෙන්න! ඔවුන් දුටුවේ තමන් පසු පස පෙරට ඇදෙන ඊජිප්තුවරුන් ය. ඉන් මහත් භයට පත් ඔවුහු, ස්වාමින්වහන්සේට මොර ගසන්නට වන්හ. ඔවුහු මෝසෙස් අමතමින්, “නුඹ මේ කාන්තාරයේ මැරී යන්නට අප ගෙන ආවේ ඊජිප්තුවේ මිනීවළවල් නැති නිසා ද? ඊජිප්තුවෙන් පිටට අප ගෙන ඒමෙන්, නුඹ අපට මේ කර ඇත්තේ කුමක් ද? ‘අපට ඉන්නට හරින්න. ඊජිප්තුවරුන්ට මෙහෙ කරන්නට ඉඩ දෙන්නැයි ඊජිප්තුවේදී අප නුඹට කීවේ මෙනිසා නො වේ ද?’ මේ කාන්තාරයේ නැසී යනවාට වඩා ඊජිප්තුවරුන්ට මෙහෙ කරමින් සිටියා නම් අපට හොඳ යැ” යි කීහ. එහෙත් මෝසෙස් ජනතාවට පිළිතුරු දෙමින්, “භය වන්න එපා; ස්ථාවර ව සිටින්න. ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට සලසා දෙන ගැලවීම බලා සිටින්න. අද ඔබ දකින මේ ඊජිප්තුවන්, යළි කිසි දින ඔබට දකින්නට ලැබෙන්නේ නැත.
නික්මයාම 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 14:5-13
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ