නික්මයාම 14:13-22

නික්මයාම 14:13-22 SCV

එහෙත් මෝසෙස් ජනතාවට පිළිතුරු දෙමින්, “භය වන්න එපා; ස්ථාවර ව සිටින්න. ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට සලසා දෙන ගැලවීම බලා සිටින්න. අද ඔබ දකින මේ ඊජිප්තුවන්, යළි කිසි දින ඔබට දකින්නට ලැබෙන්නේ නැත. ස්වාමින්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ කළ යුත්තේ නිශ්චල ව සිටීම පමණකැ” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කුමට ද නුඹ මට මොර ගසන්නේ? ඉදිරියට යන්නැයි ඉශ්‍රායෙල් ජනයාට කියන්න. ඔබේ සැරයටිය ඔසවා, ඔබේ අත මුහුදට දිගු කර, ජලය දෙබෑ කරන්න. එවිට ඉශ්‍රායෙල් ජනයාට මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත හැකි වනු ඇත. මම, ඊජිප්තුවරුන්ගේ හදවත් දැඩි කරන්නෙමි. එවිට ඔවුන් ඉශ්‍රායෙල්වරුන් පසු පස ලුහුබඳිනු ඇත. මෙසේ පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ හා ඔහුගේ අසරුවන් ද ඇතුළු ඔහුගේ මුළු හමුදාව ද හේතු කොට මම ගෞරව මහිම අත්කර ගනිමි. පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ හා ඔහුගේ අසරුවන් ද හේතු කොට මා ගෞරව මහිම ලත් කල, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගනු ඇතැ” යි පැවසූ සේක. එතෙක් ඉශ්‍රායෙල් සේනාංකයට පෙරටුවෙන් ගමන් ගත් දෙවියන්වහන්සේගේ දූතයා එතැනින් මෑත් වී, ඔවුනට පිටුපසින් යන්නට වන්නේ ය. ඔවුනට පෙරටුවෙන් වූ වලා ටැඹ ද මෑත් වී, ඔවුනට පිටුපසින් පිහිටා, ඊජිප්තු සේනාංක හා ඉශ්‍රායෙල් සේනාංක අතරට පැමිණියේ ය. එහි වලාවත්, අන්ධකාරයත් විය. මෙසේ දෙගොල්ල එකිනෙකාට ළං වීමක් නො වී, රැය ගත විණ. මෝසෙස් මුහුද දෙසට තම අත දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ මුළු රැය පුරා පෙරදිග සැඬ සුළඟකින් මුහුද ආපසු ගලා යවා, මුහුද වියළි බිමකට හැරවූ සේක. මෙසේ ජලය දෙබෑ කෙරිණ. ඉශ්‍රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත්හ. මුහුදු ජලය ඔවුනට දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් පිහිටා සිටුයේ ය.