නික්මයාම 13:1-16

නික්මයාම 13:1-16 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “හැම කුලුඳුලෙක් ම මට කැප කරන්න. මිනිසුන් අතර හා සත්වයින් අතර යනුවෙන් ඉශ්‍රායෙල් ජනයා අතර හැම ගර්භයක ම ප්‍රථම පලය අයිති මට යැ” යි පැවසූ සේක. ඉන්පසු මෝසෙස් ජනතාවට කතා කොට, “ඊජිප්තුවෙන් පිටතට, වහල්කමේ නිවාසයෙන් පිටතට නුඹලා පැමිණි, මේ දවස සමරන්න. මන්ද ස්වාමින්වහන්සේ එතැනින් පිටතට නුඹලා ගෙනාවේ බලගතු හස්තයකිනි. මුහුන් අඩංගු කිසිවක් අහරට නො ගන්න. ආබීබ් මාසයේ මේ දවසේ නුඹලා පිටත් ව යන්නෝ ය. ස්වාමින්වහන්සේ ඔබට දීමට, ඔබේ පියවරුන්ට දිවුළ දේශය වූ කිරි හා පැණි ගලා යන දේශයට, කානානිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ, අමෝරිවරුන්ගේ, හිවීවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ ද දේශයට උන්වහන්සේ නුඹලා ගෙන ආ කල, මෙම මාසයේ ඔබ මෙම පිළිවෙත පැවැත් විය යුතු ය. හත් දවසක් මුහුන් නොමැති රොටි අනුභව කරන්න. හත් වන දවසේ ස්වාමින්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. එම හත්-දවස් කාලය තුළ මුහුන් රහිත රොටි අනුභව කරන්න. මුහුන් සහිත කිසිවක් ඔබ අතරෙහි දක්නට නො තිබේවා! ඔබේ දේශ සීමාව තුළ කොතැනකුදු මුහුන් දක්නට නො තිබේවා! ඒ දවසේ ඔබේ පුතුට කතා කොට, ‘මා මෙසේ කරන්නේ, ඊජිප්තුවෙන් පිටතට මා ආ කල්හි ස්වාමින්වහන්සේ මා උදෙසා කළ දෑ නිසා ය’ යි කියන්න. ස්වාමින්වහන්සේගේ නීතිය, ඔබේ මුවෙහි පවතින පිණිස මෙම පිළිවෙත ඔබට, ඔබේ අතේ ලකුණක් ද ඔබේ නළලේ සිහිගැන්වීමක් ද මෙන් වන්නේ ය. මන්ද ස්වාමින්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආවේ බලගතු හස්තයකිනි. එබැවින් වසරින් වසර නියමිත කාලයේදී ඔබ මෙම පිළිවෙත පැවැත් විය යුතු ය. “උන්වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් දිවුරා පොරොන්දු වූ පරිදි කානානිවරුන්ගේ දේශයට ස්වාමින්වහන්සේ ඔබ ගෙනවුත්, එය ඔබට දුන් පසු, සෑම ගර්භයක ම කුලුඳුලා ස්වාමින්වහන්සේට ඔබ වෙන් කළ යුතු ය. ඔබට අයත් හැම සතකුගේ ම කුලුඳුල් පිරිමි පැටවුන් අයිති ස්වාමින්වහන්සේට ය. හැම කුලුඳුල් බූරු පැටවකු ම, බැටළු පැටවකු බැගින් දී, මුදා ගත යුතු ය. ඔබ ඌ මුදා ගන්නේ නැති නම්, උගේ බෙල්ල කඩා දැමිය යුතු ය. ඔබගේ පුතුන් අතරෙහි හැම කුලුඳුලෙක් ම ඔබ මුදා ගත යුතු ය. “මතු කාලයකදී ඔබේ පුත්‍රයා ඔබෙන් ප්‍රශ්න කරමින්, ‘මෙහි අරුත කුමක් දැ?’ යි ඇසූ කල, ඔබ ඔහුට පිළිතුරු දෙමින්, ‘බලගතු හස්තයකින් ස්වාමින්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට, වහල්කමේ දේශයෙන් පිටතට අප ගෙන ආ සේක. පාරාවෝ අපට යන්නට දීම, මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ, ස්වාමින්වහන්සේ ඊජිප්තුවේ හැම කුලුඳුලකු ම, මිනිසුන්ගේ කුලුඳුලන් හා සතුන්ගේ කුලුඳුලන් නැසූ සේක. ගර්භයේ හැම පිරිමි කුලුඳුලා ම ස්වාමින්වහන්සේට මා පූජා කරන්නේ එබැවිනි. එහෙත් මගේ පුත්‍රයන්ගේ හැම කුලුඳුලකු ම මම මුදා ගන්නෙමි’ යි කිය යුතු ය. ස්වාමින්වහන්සේ ස්වකීය බලගතු හස්තයෙන් ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ වගට, එය ඔබේ අතේ සලකුණක් ද ඔබේ නළලේ සංකේතයක් ද මෙන් වන්නේ යැ” යි පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 13:1-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය