නික්මයාම 10:1-29

නික්මයාම 10:1-29 SCV

එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “පාරාවෝ වෙත යන්න. මම ඔහුගේ හදවත ද ඔහුගේ නිලධාරීන්ගේ හදවත් ද දැඩි කළෙමි. එසේ කළේ, මගේ මෙම අනුහස් ලකුණු ඔවුන් මධ්‍යයේ විදහා දක්වන පිණිසත්, ඊජිප්තුවරුනට මා කොතෙක් සැරෙන් ක්‍රියා කළේ ද යන්න හා මා කෙසේ ඔවුන් අතරේ මගේ ලකුණු විදහා පෑවේ ද යන්න ඔබේ දරු මුනුපුරුවන් හට ඔබ කියා දෙන පිණිසත්, මා ස්වාමින්වහන්සේ වග ඔබ දැනගන්නා පිණිසත් යැ” යි පැවසූ සේක. එබැවින් පාරාවෝ වෙත ගිය මෝසෙස් හා ආරොන් ඔහු අමතමින්, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මා ඉදිරියේ යටහත්වීමට තව කොතෙක් කලක් ඔබ ප්‍රතික්ෂේප කරන්නේ ද? මට නමස්කාර කරන පිණිස, මගේ ජනයාට යන්නට දෙන්න. එහෙත් ඔවුන්ට යන්නට දීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔන්න! හෙට ඔබේ රට තුළට මම පළඟැටියන් ගෙනෙන්නෙමි. පොළොවේ මතු පිට නො පෙනෙන සේ උන් පොළොව වසා ගනු ඇත. ඔබේ වතු පිටිවල වැවෙන ගහ කොළ ඇතුළු ව ගල් වැස්සෙන් පසු ඔබට ඉතිරි ව ඇති ස්වල්ප දෑ, උන් කා දමනු ඇත. ඔබගේ පියවරුන් හෝ ඔබගේ මුතුන් මිත්තන් හෝ මේ දේශයෙහි ඔවුන් පදිංචි වූ දා සිට මේ දක්වා කිසි කලෙක දකින්නට නො ලැබුණු ලෙස උන්ගෙන් ඔබගේ නිවෙස් ද ඔබගේ සියලු නිලධාරීන්ගේ හා සියලු ඊජිප්තුවරුන්ගේ නිවෙස් ද පිරී යනු ඇතැ’ යි” පැවසූහ. ඉන්පසු මෝසෙස් ආපසු හැරී, පාරාවෝ වෙතින් ඉවත් ව ගියේ ය. එවිට පාරාවෝගේ නිලධාරීහු ඔහු අමතමින්, “තව කොතෙක් කලක් මේ මිනිහා අපට මලපතක් වන්නේ ද? ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නට, ඒ මිනිසුන්ට යන්නට හරින්න. ඊජිප්තුව විනාශ වන සැටි තවමත් ඔබට වැටහෙන්නේ නැති දැ?” යි කීහ. එබැවින් මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙත යළි ගෙන්වන ලදහ. ඔහු ඔවුන්ට කතා කරමින්, “යන්න, ගොස්, නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කරනු; එහෙත්, යන්නෝ කවරහු දැ?” යි ඇසී ය. මෝසෙස් පිළිතුරු දෙමින්, “අපි අපගේ බාලයින් හා මහල්ලන් ද අපගේ පුත්‍රයින් හා දූවරුන් ද අපගේ එළු බැටළු හා ගව රංචු ද කැටිව යා යුත්තෙමු. මන්ද අපි ස්වාමින්වහන්සේට මංගල්‍යයක් කොට උත්සව පැවැත් විය යුත්තෙමු” යි කීවේ ය. එවිට පාරාවෝ කතා කරමින්, “නුඹලා කැටිව නුඹලාගේ අඹු-දරුවන් ද සමඟ යන්නට මා ඉඩ හැරියොත්, නුඹලාට ස්වාමින්වහන්සේගේ ම පිහිටයි. නුඹලාගේ සිතේ නපුරු අදහසක් ඇති වග පැහැදිලියි! නැහැ! පිරිමින් පමණක් ගොස්, ස්වාමින්වහන්සේට නමස්කාර කරනු. නුඹලාගේ ඉල්ලීම ඒක යැ” යි පැවසී ය. එකල පාරාවෝ අබියසින් ඔවුහු පන්නා දමනු ලැබූහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පළඟැටි කැල ඊජිප්තු දේශයට වැද, දේශයෙහි හැම පැළෑටියක් ම, ගල් වැස්සෙන් බේරී ඉතිරි ව ඇති සියල්ල කා දමන පිණිස, ඊජිප්තු දේශය පිටට ඔබේ අත දිගු කරන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් ඊජිප්තු දේශය පිටට තම සැරයටිය දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ ඒ දවස මුළුල්ලෙහිත්, රැය මුළුල්ලෙහිත් දේශය ඔස්සේ පෙරදිග සුළඟක් හමන්නට සැලසූ සේක. උදෑසන වන විට ඒ සුළඟින් පළඟැටි ගෙනැවිත් තිබිණි. උන් මුළු ඊජිප්තු දේශය ම ආක්‍රමණ කරමින්, දේශයේ හැම පෙදෙසක ම පැලපදියම් වූයේ ගණනින් අසංඛ්‍යව ය. ඒ සා පළඟැටි සේනා ඉන් පෙර කිසි කලෙක ඇති වූයේවත්, මතු ඇති වන්නේවත් නැත. පොළෝ තලය උන්ගෙන් කළු පැහැ ගන්වමින්, උන් මුළු පොළෝ තලය ම වසා ගත්හ. ගල් වැස්සෙන් පසු ඉතිරි ව තිබූ සියල්ල වන දේශයේ සියලු පැළෑටි ද ගස්වල වූ පල ද උන් කා දැමූහ. කෙත් වතුවල පැළෑටියක හෝ ගසක හෝ කොළ පැහැති කිසිවක් මුළු ඊජිප්තු දේශය තුළෙහි ම ඉතිරි නො වී ය. එවිට පාරාවෝ වහා මෝසෙස් හා ආරොන් කැඳවා, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිවත්, ඔබට එරෙහිවත් මම පව් කළෙමි. මේ වතාවටත් මගේ පාපයට කමා වී, මේ මරණීය ව්‍යසනය මා වෙතින් පහ කරන ලෙස ඉල්ලා ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට කන්නලව් කරන්නැ” යි ඉල්ලී ය. මෝසෙස් එවිට පාරාවෝ වෙතින් බැහැර ව ගොස්, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. එවිට ස්වාමින්වහන්සේ ඒ සුළඟ, අති ප්‍රබල අපරදිග සුළඟකට හැරවූ සේක. එම සුළඟින් පළඟැටි රතු මුහුදට ගසා ගෙන යන ලදහ. ඊජිප්තු දේශයේ කොතැනකවත් එක පළඟැටියකුදු ඉතිරි නො වී ය. එහෙත් ස්වාමින්වහන්සේ පාරාවෝගේ හදවත දැඩි කළ සේක. ඔහු ඉශ්‍රායෙල්වරුනට යෑමට ඉඩ දුන්නේ නැත. ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඊජිප්තු දේශය මත අන්ධකාරයක් පැතිරෙන පිණිස, අතගා බැලිය හැකි තරම් අන්ධකාරයක් පැතිරෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් අහස දෙසට තම අත දිගු කළේ ය. එවිට මුළු ඊජිප්තු දේශය ඝන අන්ධකාරයකින් තුන් දවසක් ම වැසී ගත්තේ ය. තුන් දවසක් ම කිසිවකුටත් එකිනෙකා දකින්නට හෝ හුන් තැනින් ඈත්-මෑත් වන්නට හෝ නුපුළුවන් විය. එහෙත් සියලු ඉශ්‍රායෙල්වරුනට ඔවුන් විසූ තැන්හි එළිය තිබිණ. එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, ඔහු අමතමින්, “යන්න; ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න. ඔබේ අඹු-දරුවන්ටත් ඔබ සමඟ යා හැකියි. ඔබේ එළු බැටළු හා ගව රංචු පමණක් නවතා යන්නැ” යි කීවේ ය. එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින්, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාග පූජා හා දවන යාග ඇති ව යන්නට ඔබ අපට ඉඩ දිය යුතුයි. එබැවින් අපගේ සත්ව සම්පත ද අප සමඟ යා යුතුයි. එක කුරයක්වත් තබා ගිය නො හැකියි. අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමේදී මුන්ගෙන් ඇතමකු අපට වුවමනා වනු ඇත. ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට උපයෝගී කර ගත යුත්තේ කවරක්දැයි අප එහි යන තෙක් ම දන්නේ නැතැ” යි පැවසී ය. එහෙත් ස්වාමින්වහන්සේ පාරාවෝගේ හදවත දැඩි කළ සේක. එබැවින් ඔවුනට යන්නට ඉඩ දීමට ඔහු කැමති වූයේ නැත. පාරාවෝ මෝසෙස්ට කතා කොට, “මගේ දෑහැට නො පෙනී යනු! ආයෙත් මා හමුවට නො ඒමට වග බලා ගනු! නුඹ යළි මගේ මුහුණ දකින දවසේ නුඹ නසිනු ඇතැ” යි කීවේ ය. මෝසෙස් පිළිතුරු දෙමින්, “ඔබ කී ලෙස ම වේවා! ආයෙත් මම ඔබේ මුහුණ දකින්නට කිසි දින නො එන්නෙමි” යි කීවේ ය.

මෙයට අදාළ වීඩියෝ