නික්මයාම 1:1-14

නික්මයාම 1:1-14 SCV

තම තමන්ගේ පවුල් කැටිව, යාකොබ් සමඟ ඊජිප්තුවට ගිය ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාම මෙසේ ය. රූබෙන්, සිමියොන්, ලෙවී හා යූදා; ඉස්සාකර්, සාබුලොන් හා බෙන්යමින්; දාන් හා නෆ්තලී; ගාද් හා ආෂෙර්. යාකොබ්ගේ පරපුරේ සියල්ලෝ ගණනින් හැත්තෑ දෙනෙකි. යෝසෙප් ඒ වන විටත් සිටියේ ඊජිප්තුවේ ය. කල්යෑමේදී යෝසෙප් ද ඔහුගේ සහෝදරයින් සැවොම ද යන ඒ පරපුරේ සියල්ලෝ මියැදුණෝ ය. එහෙත් ඉශ්‍රායෙල්වරු සඵල වී, බෙහෙවින් වැඩි වර්ධන වූවෝ, දේශය ඔවුන්ගෙන් පිරී යන තරමට ගණනින් ඉතා අධික වූහ. මේ අතර, යෝසෙප් පිළිබඳ අවබෝධයක් නො වූ අලුත් රජෙක්, ඊජිප්තුවේ බලයට පත් විය. ඔහු තම ජනයා අමතමින්, “බලන්න! මේ ඉශ්‍රායෙල් ජනයා අපටත් වඩා ගණනින් වැඩි වී, බලවත් වෙලා. එමු! අප ඔවුන් සමඟ සිහි-නුවණින් ක්‍රියා කළ යුතුයි. නැතහොත් ඔවුන් තවත් වැඩි වේවි. යුද්ධයක් ආවොත්, ඔවුන් අපේ සතුරන් සමඟ එක් වී, අපට එරෙහිව සටන් වැද, දේශයෙන් පිට වී යනු ඇතැ” යි පැවසී ය. එබැවින්, බර වැඩ පටවා, ඔවුන් පීඩාවට පත් කරන පිණිස, ඔවුහු වැඩ විදානේවරුන් පත් කළහ. ඉශ්‍රායෙල්වරු මෙසේ පාරාවෝ උදෙසා පිතොම් හා රාමසෙස් යන ගබඩා නුවරවල් ගොඩ නැගූහ. එහෙත් පීඩා කරනු ලැබීම වැඩි වන තරමට ඔවුහු වඩ වඩා වර්ධන වෙමින්, පැතිරුණහ. ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ගැන භීතියට පත් වූවාහු, ඉශ්‍රායෙල්වරුන් නිර්දය ලෙස බර වැඩෙහි යෙදවූහ. ඔවුහු ඉශ්‍රායෙල්වරුන්ට ජීවිතය තිත්ත කරවමින්, මැටි වැඩ, ගඩොල් වැඩ හා වතු පිටිවල සියලු වැඩ යන බර වැඩෙහි ඔවුන් යෙදවූහ. ඊජිප්තුවරුන් මේ සියලු බර වැඩ ඔවුන්ට පැටවූයේ දයා විරහිත ව ය.

නික්මයාම 1:1-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය