එස්තර් 9:23-32

එස්තර් 9:23-32 SCV

මොර්දෙකයි විසින් ඔවුන්ට ලියා දැක් වූ උපදෙස් අනුව, යුදෙව් ජනයා තමන් ඇරඹූ එම උත්සව දිගට ම පැවැත්වීමට එකඟ වූහ. මන්ද සියලු යුදෙව්වරුන්ගේ හතුරා වන අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්, යුදෙව්වරුන් වනසා දැමීමට ඔවුනට එරෙහිව කුමන්ත්‍රණ කොට, ඔවුන් වනසා, නැති-භංග කර දැමීමට පූර් නම් වූ පස ඇට දමා තිබිණි. එහෙත් එම කුමන්ත්‍රණය රජුගේ අවධානයට ලක් කරනු ලැබූ කල, හාමාන් විසින් යුදෙව් ජනයාට එරෙහිව යොදා තිබූ ප්‍රයෝගකාරී වැඩ පිළිවෙළ ඔහුගේ ම හිස මතට කැරකී ඒමට ද ඔහුත්, ඔහුගේ පුත්‍රයනුත් පෝරකයෙහි එල්ලා දමනු ලැබීමටත් නියෝග ලියවිලි නිකුත් කෙරිණි. එබැවින් පූර් යන වදනට අනුකූලව මෙම දවස් පූරීම් නමින් හැඳින්විණ. මෙම ලිපියේ ලියා තිබූ සියල්ල නිසාත්, ඔවුන් ම දැක තිබූ දෑ හා ඔවුන්ට සිදු වූ දෑ නිසාත්, යුදෙව්වරු එම දෙදින සැමරීමේ චාරිත්‍රය ස්ථාපිත කිරීමේ වගකීම භාර ගත්හ. එනම් ඔවුන් ද ඔවුන්ගෙන් පැවත එන්නන් ද ඔවුන් සමඟ එක් වූ සියල්ලන් ද විසින් නියම කළ අයුරින් ම, නියම කළ කාලයට ම අවුරුදු පතා නොවැරදීම ඒ දෙදින ප්‍රීති උත්සව පැවැත්වීමයි. මේ දෙදවස් පරපුරින් පරපුරට හැම පවුලක් විසින් ම, හැම ප්‍රාන්තයක, හැම නගරයක සැමරිය යුතු විණි; පැවැත් විය යුතු විණි. මෙම පූරීම් දවස් පැවැත්වීම යුදෙව්වරුන් විසින් කිසි කලෙකත් නො නැවැත්විය යුතු විය. එම දවස් පිළිබඳ මතකය ද ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙතින් මැකී නො යා යුතු විය. එබැවින් අබිහයිල්ගේ දියණිය වූ එස්තර් බිසව, යුදෙව්වර මොර්දෙකයි හා එක් ව, “පූරීම්” සම්බන්ධයෙන් මෙම දෙවන ලිපිය සහතික කරමින්, ඇගේ පූර්ණ ආධිපත්‍යයෙන් යුතු ව ලිව්වා ය. අහෂ්වේරොෂ් රාජධානියේ ප්‍රාන්ත එකසිය විසිහතේ සියලු යුදෙව්වරුන් වෙත ශාන්තියේත්, සුරක්ෂිත භාවයේත් වදනින් යුතු ලිපි යැවූ මොර්දෙකයි, යුදෙව්වරුන් ද ඔවුන්ගෙන් පැවත එන්නන් ද උදෙසා උපවාසයේ හා වැලපීමේ කාල සම්බන්ධ ව, ඔවුන් ම ස්ථාපිත කළ පරිදි හා යුදෙව්වර මොර්දෙකයි ද එස්තර් බිසව ද ඔවුන්ට නියෝග දී තිබූ පරිදි, නියමිත දවස්වල පූරීම් සමරන ලෙස දැන්වී ය. පූරීම් පිළිබඳ මෙම චාරිත්‍ර එස්තර්ගේ නියෝගයෙන් ස්ථිර කෙරිණි. එය ලේඛනගත කරන ලදී.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 9:23-32 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය