එස්තර් 9:1-19

එස්තර් 9:1-19 SCV

රජුගේ නියෝගය හා ආඥාව ක්‍රියාත්මක කිරීමට නියමිත දොළොස් වන මාසයේ, අදාර් මාසයේ දහතුන් වන දිනය, එදින යුදෙව්වරුන් මැඬලීමට ඔවුන්ගේ සතුරන් බලාපොරොත්තු වූ දවස වුව ද, තත්වය අනෙක් අතට පෙරැළිණ; යුදෙව්වරු එය, තමන්ට වෛරකළවුන් මැඬලීමේ දවසකට හරවා ගත්හ. අහෂ්වේරොෂ් රජුගේ හැම ප්‍රාන්තයක ම යුදෙව්වරු, තමන් විනාශ කරන්නට සෙවූවන්ට පහර දෙන පිණිස, තම පුරවරයන්හි එක් රැස් වූහ. අන් හැම ජාතියකට ම අයත් ජනයා පිට යුදෙව්වරුන් කෙරේ වූ භයක් පතිත වූ බැවින් යුදෙව්වරුන්ට එරෙහිව නැගිටින්නට සමත් කිසිවකු හෝ නො වී ය. සියලු රජුගේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු ද විවිධ ප්‍රාන්ත-පාලකයෝ ද විවිධ ජන කොටස් හි අධිපතීහු ද මොර්දෙකයි කෙරේ වූ බියෙන් ඇලළී ගියාහු, යුදෙව්වරුන්ට ම උදවු උපකාර කළහ. මොර්දෙකයි, රජ මැදුරෙහි බලවතා විය. ඔහුගේ කීර්තිය ද ප්‍රාන්ත මුළුල්ලෙහි පැතිර ගියේ ය. මෙසේ මොර්දෙකයි වඩ වඩා බලවත් විය. යුදෙව්වරු ඔවුන්ගේ සියලු සතුරන් මරා දමමින්, වනසාලමින්, ඔවුන් කඩුවෙන් ගසා හෙළූහ. ඔවුහු, තමන්ට වෛර කළවුනට තමන් රිසි පරිද්දෙන් කළහ. යුදෙව්වරු ෂූෂන් බළකොටුවේ මිනිසුන් පන්සිය දෙනෙක් මරා දැමූහ. තවද ඔවුහු පර්ෂන්දාතා, දල්ෆෝන්, අස්පාතා, පෝරාතා, අදලියා, අරීදාතා, පර්මෂ්තා, අරීසයි, අරිදයි හා වයිසාතා යන දස දෙනා මරා දැමූහ. යුදෙව්වරුන්ගේ හතුරා වූ හම්මෙදාතාගේ පුත් හාමාන්ගේ පුතුන් දස දෙනා ඔවුහු ය. එහෙත් යුදෙව්වරුන් වස්තුව කොල්ලකෑමට අත පෙව්වේ නැත. ෂූෂන් බළකොටුවේ මරා දමනු ලැබූවන්ගේ ගණන ඒ දවසේ ම රජුට වාර්තා කරන ලදී. රජු එස්තර් බිසවට කතා කොට, “යුදෙව්වරුන් ෂූෂන් බළකොටුවේ පමණක් මිනිසුන් පන්සිය දෙනෙක් හා හාමාන්ගේ පුතුන් දස දෙනා මරා විනාශ කර දමා ඇත. රජුගේ සෙසු ප්‍රාන්තවල ඔවුන් මොනවා නො කරන්නට ඇද්ද? හොඳයි දැන්, මොකක් ද ඔබේ අයැදුම? ඔබට එය ඉටු කර දෙනු ලැබේ; මොකක් ද ඔබේ ඉල්ලීම? එය ද අනුමත කෙරේ” යි කීවේ ය. එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් කැමති නම්, අද දවසේ රාජාඥාව හෙට දවසේත් ක්‍රියාත්මක කරන්නට ෂූෂන්හි යුදෙව්වරුන්ට අවසර දෙනු මැනවි. තවද හාමාන්ගේ පුතුන් දස දෙනාගේ සිරුරු එල්ලුම් ගස්වල එල්ලා තබනු ලැබේවා” යි කීවා ය. එබැවින්, එසේ කරන ලෙස රජු නියෝග කළේ ය. ෂූෂන්හි ආඥාවක් නිකුත් කරන ලදී. හාමාන්ගේ පුතුන් දස දෙනාගේ සිරුරු ද එල්ලා තබන ලදී. ෂූෂන්හි යුදෙව්වරු රංචු ගැසී, අදාර් මස දාහතර වන දින ෂූෂන්හි තුන්සිය දෙනෙක් මරා දැමූහ. එහෙත් ඔවුන් කොල්ලකෑමට අත පෙව්වේ නැත. මේ අතර රජුගේ ප්‍රාන්තවල සෙසු යුදෙව්වරු ද තමන්ගේ ආරක්ෂාව සඳහා එක් රොක් වී ඔවුන්ගේ සතුරන්ගෙන් නිදහස් වූහ. ඔවුහු සතුරන් හැත්තෑපන්දහස් දෙනෙක් මරා දැමූහ; එහෙත් කොල්ලයට අත පෙව්වේ නැත. එය සිදු වූයේ අදාර් මස දහතුන් වන දා ය. දාහතර වන දින ඔවුහු විවේක ගනිමින්, ඒ දවස, ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. කෙසේ වෙතත් ෂූෂන්හි යුදෙව්වරු දහතුන් වනදාත්, දහහතර වනදාත් එක් රොක් වූවෝ, පහළොස් වන දා විවේක ගනිමින්, ඒ දවස ප්‍රීති උත්සව දවසක් කර ගත්හ. ගම්මානවල වෙසෙන ගැමි යුදෙව් ජනයා අදාර් මස දස සතර වන දින එකිනෙකාට තෑගි දෙන, ප්‍රීති උත්සව පවත්වන දවසක් ලෙස පවත්වන්නේ ඒ නිසා ය.

මෙයට අදාළ වීඩියෝ