එස්තර් 7:7-10

එස්තර් 7:7-10 SCV

තද කෝපයෙන් යුතු ව මිදි යුෂ පානයෙන් නැගී සිටි රජු, මාලිග උයනට පිට ව ගියේ ය. එහෙත් හාමාන්, රජු විසින් තමාට නපුරක් දැනටමත් තීන්දු කරනු ලැබ ඇතැයි වටහා ගෙන, තම ජීවිතය උදෙසා එස්තර් බිසවට කන්නලව් කිරීමට නැවතුණේ ය. මාලිග උයනේ සිට රජු තමන් මිදි යුෂ පානය කළ ශාලාවට ආපසු පිවිසෙද්දී, එස්තර් හාන්සි වී සිටි කවිච්චිය මත හාමාන් වැටී සිටියේ ය. එවිට රජු, “මොහු බිසවුනට බලහත්කාරකම් කරන්නටත් යනවා ද! මගේ මාලිගයේ, මා ඉදිරිපිටදී ම!” යි මොර ගෑවේ ය. ඒ වචන රජුගේ මුවින් පිටවෙනවාත් සමඟ ම ඔවුහු හාමාන්ගේ මුහුණ ආවරණ කළහ. එවිට, රජුට මෙහෙවර කරන නපුංසක නිලධාරීන්ගෙන් කෙනකු වූ හර්බෝනා කතා කොට, “හාමාන්ගේ නිවස ළඟ රියන් පනහක් උස පෝරකයක් සිටුවා තිබේ. ඔහු එය තනවන ලද්දේ වරක් රජතුමාගේ යහපතට තොරතුරු සැපයූ මොර්දෙකයි එල්ලන්නට යැ” යි පැවසී ය. “මොහු එහි එල්ලා දමනු” යි රජු පැවසී ය. මෙසේ, මොර්දෙකයි එල්ලීමට ඔහු සෑදවූ පෝරකයේ ම ඔවුහු හාමාන් එල්ලා දැමූහ. ඉන්පසු රජුගේ උදහස සංසිඳිණි.