එස්තර් 5

5
එස්තර් රජු හමුවට
1තුන් වන දවසේ, එස්තර් තම රාජකීය සළු පිළියෙන් සැරසී, රජුගේ නිවස්නය ඉදිරිපිට සිංහාසන කුටියේ ඇතුළු මළුවේ සිටගත්තා ය. මාලිග ශාලා-දොරටු පිවිසුම ඉදිරිපිට සිංහාසන කුටියේ රජු ඔහුගේ රාජකීය සිංහාසනයේ හිඳ සිටියේ ය. 2එස්තර් බිසව මළුවේ සිටගෙන සිටිනු දුටු රජු, ඈ කෙරේ ප්‍රසන්න ව තම අතේ වූ රන් සෙංකෝලය ඇය වෙත දිගු කළේ ය. එකල එස්තර් ළං වී, සෙංකෝල කෙළවර ස්පර්ශ කළා ය.
3එවිට රජු ඇය අමතමින්, “කිම ද එස්තර් බිසවුනි? කුමක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය ඔබට දෙනු ලැබේ යැ” යි පැවසී ය.
4එස්තර් පිළිතුරු දෙන්නී, “රජතුමා සතුටු වන්නේ නම්, රජතුමා වෙනුවෙන් මා පිළියෙල කර ඇති භෝජන සංග්‍රහයට රජතුමා හා හාමාන් අද පැමිණුන මැනවි” යි කීවා ය.
5එවිට රජු එස්තර් කී පරිදි කරන පිණිස, “වහාම හාමාන් කැඳවන්නැ” කීවේ ය.
මෙසේ, රජු හා හාමාන් එස්තර් විසින් පිළියෙල කරන ලද භෝජන සංග්‍රහයට පැමිණියහ. 6ඔවුන් මිදි යුෂ පානය කරමින් සිටියදී, යළි එස්තර් ඇමතූ රජු, “හොඳයි, මොකක් ද ඔබේ අයැදුම? එය ඔබට ප්‍රදාන කරනු ලැබේ; මොකක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත් එය ඉටු කරනු ලැබේ” යි පැවසී ය.
7එස්තර් පිළිතුරු දෙමින්, “මගේ අයැදීමත්, මගේ ඉල්ලීමත් මෙයයි: 8රජතුමා ඉදිරියේ මට ප්‍රසාදය ලැබේ නම්, මගේ අයැදුම ප්‍රදානය කර, මගේ ඉල්ලීම ඉටු කිරීමට රජතුමන් ප්‍රසන්න නම්, හෙට රජතුමා හා හාමාන් වෙනුවෙන් මා පිළියෙල කරන භෝජන සංග්‍රහයට ඔබ දෙපොළ අව මැනවි; එවිට රජතුමා කී පරිදි මම කරන්නෙමි” යි ඈ කීවා ය.
මොර්දෙකයිට විරුද්ධ හාමාන්ගේ කෝපය
9හාමාන් එදින පිටත් ව ගියේ ප්‍රීතියෙනි; හදේ ප්‍රමෝදයෙනි. එහෙත් රජ වාසලදී මොර්දෙකයි ඔහු ඉදිරියෙහි නැගී සිටියේවත්, තැති ගත්තේවත් නැති වග දුටු කල, මොර්දෙකයිට එරෙහිව ඔහු ක්‍රෝධයෙන් පිරුණේ ය. 10එහෙත් තම කෝපය මැඩගත් හාමාන්, තම නිවසට ගියේ ය.
තම මිතුරන් ද තම බිරිඳ වූ සෙරෙෂ් ද කැඳවූ 11හාමාන්, තමාගේ ධන සම්භාරයේ විභූතිය ගැනත්, බොහෝ වූ තම පුතුන් ගැනත්, ඔහුට ගෞරව වශයෙන් රජු කර තිබූ කටයුතු සියල්ල ගැනත්, සෙසු අධිපතීන්ට හා නිලධාරීන්ට වඩා උසස් තත්වයක් රජු ඔහුට දීම ගැනත් ඔවුන් ඉදිරියෙහි පුරසාරම් දෙඩී ය. 12හාමාන් වැඩිදුරටත් කතා කරමින්, “එපමණක් නො වේ; එස්තර් බිසවුන් පැවැත් වූ භෝජන සංග්‍රහයට රජතුමා සමඟ එතුමියගෙන් ඇරියුම් ලද එක ම තැනැත්තා මමයි. රජතුමන් සමඟ හෙට දවසටත් එතුමියගෙන් මට ඇරියුම් ලැබුණා. 13එහෙත් අර යුදෙව්වා-මොර්දෙකයි, රජ වාසල හිඳ සිටිනු දකිනා තාක් කල්, මේ කිසි ම දෙයකින් මට සැනසීමක් නැතැ” යි කීවේ ය.
14එවිට ඔහුගේ බිරිඳ සෙරෙෂ් හා ඔහුගේ මිතුරන් සියලු දෙනා ඔහුට කතා කොට, “රියන් පනහක්#5:14 මීටර් 23ක් පමණ. උස එල්ලුම් ගහක් හදවන්න; මොර්දෙකයි එහි එල්ලන්නැයි හෙට උදෑසන රජුගෙන් ඉල්ලන්න. ඉන්පසු රජු සමඟ භෝජන සංග්‍රහයට ගොස් ප්‍රීති වන්නැ” යි කීහ. මෙම යෝජනාව, හාමාන්ගේ සතුටට හේතු වූයෙන්, ඔහු ඒ අයුරු එල්ලුම් ගහක් තැනවී ය.

දැනට තෝරාගෙන ඇත:

එස්තර් 5: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න