එස්තර් 5:9-14

එස්තර් 5:9-14 SCV

හාමාන් එදින පිටත් ව ගියේ ප්‍රීතියෙනි; හදේ ප්‍රමෝදයෙනි. එහෙත් රජ වාසලදී මොර්දෙකයි ඔහු ඉදිරියෙහි නැගී සිටියේවත්, තැති ගත්තේවත් නැති වග දුටු කල, මොර්දෙකයිට එරෙහිව ඔහු ක්‍රෝධයෙන් පිරුණේ ය. එහෙත් තම කෝපය මැඩගත් හාමාන්, තම නිවසට ගියේ ය. තම මිතුරන් ද තම බිරිඳ වූ සෙරෙෂ් ද කැඳවූ හාමාන්, තමාගේ ධන සම්භාරයේ විභූතිය ගැනත්, බොහෝ වූ තම පුතුන් ගැනත්, ඔහුට ගෞරව වශයෙන් රජු කර තිබූ කටයුතු සියල්ල ගැනත්, සෙසු අධිපතීන්ට හා නිලධාරීන්ට වඩා උසස් තත්වයක් රජු ඔහුට දීම ගැනත් ඔවුන් ඉදිරියෙහි පුරසාරම් දෙඩී ය. හාමාන් වැඩිදුරටත් කතා කරමින්, “එපමණක් නො වේ; එස්තර් බිසවුන් පැවැත් වූ භෝජන සංග්‍රහයට රජතුමා සමඟ එතුමියගෙන් ඇරියුම් ලද එක ම තැනැත්තා මමයි. රජතුමන් සමඟ හෙට දවසටත් එතුමියගෙන් මට ඇරියුම් ලැබුණා. එහෙත් අර යුදෙව්වා-මොර්දෙකයි, රජ වාසල හිඳ සිටිනු දකිනා තාක් කල්, මේ කිසි ම දෙයකින් මට සැනසීමක් නැතැ” යි කීවේ ය. එවිට ඔහුගේ බිරිඳ සෙරෙෂ් හා ඔහුගේ මිතුරන් සියලු දෙනා ඔහුට කතා කොට, “රියන් පනහක් උස එල්ලුම් ගහක් හදවන්න; මොර්දෙකයි එහි එල්ලන්නැයි හෙට උදෑසන රජුගෙන් ඉල්ලන්න. ඉන්පසු රජු සමඟ භෝජන සංග්‍රහයට ගොස් ප්‍රීති වන්නැ” යි කීහ. මෙම යෝජනාව, හාමාන්ගේ සතුටට හේතු වූයෙන්, ඔහු ඒ අයුරු එල්ලුම් ගහක් තැනවී ය.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 5:9-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය