එස්තර් 5:6-11
එස්තර් 5:6-11 SCV
ඔවුන් මිදි යුෂ පානය කරමින් සිටියදී, යළි එස්තර් ඇමතූ රජු, “හොඳයි, මොකක් ද ඔබේ අයැදුම? එය ඔබට ප්‍රදාන කරනු ලැබේ; මොකක් ද ඔබේ ඉල්ලීම? මගේ රාජ්‍යයෙන් හරි අඩක් වුවත් එය ඉටු කරනු ලැබේ” යි පැවසී ය. එස්තර් පිළිතුරු දෙමින්, “මගේ අයැදීමත්, මගේ ඉල්ලීමත් මෙයයි: රජතුමා ඉදිරියේ මට ප්‍රසාදය ලැබේ නම්, මගේ අයැදුම ප්‍රදානය කර, මගේ ඉල්ලීම ඉටු කිරීමට රජතුමන් ප්‍රසන්න නම්, හෙට රජතුමා හා හාමාන් වෙනුවෙන් මා පිළියෙල කරන භෝජන සංග්‍රහයට ඔබ දෙපොළ අව මැනවි; එවිට රජතුමා කී පරිදි මම කරන්නෙමි” යි ඈ කීවා ය. හාමාන් එදින පිටත් ව ගියේ ප්‍රීතියෙනි; හදේ ප්‍රමෝදයෙනි. එහෙත් රජ වාසලදී මොර්දෙකයි ඔහු ඉදිරියෙහි නැගී සිටියේවත්, තැති ගත්තේවත් නැති වග දුටු කල, මොර්දෙකයිට එරෙහිව ඔහු ක්‍රෝධයෙන් පිරුණේ ය. එහෙත් තම කෝපය මැඩගත් හාමාන්, තම නිවසට ගියේ ය. තම මිතුරන් ද තම බිරිඳ වූ සෙරෙෂ් ද කැඳවූ හාමාන්, තමාගේ ධන සම්භාරයේ විභූතිය ගැනත්, බොහෝ වූ තම පුතුන් ගැනත්, ඔහුට ගෞරව වශයෙන් රජු කර තිබූ කටයුතු සියල්ල ගැනත්, සෙසු අධිපතීන්ට හා නිලධාරීන්ට වඩා උසස් තත්වයක් රජු ඔහුට දීම ගැනත් ඔවුන් ඉදිරියෙහි පුරසාරම් දෙඩී ය.

