එස්තර් 3:5-11

එස්තර් 3:5-11 SCV

මොර්දෙකයි තමාට දණ නො නමන වග හා ගෞරව නො දක්වන වග දුටු හාමාන් ක්‍රෝධයෙන් ඇවිළිණි. එහෙත් මොර්දෙකයි යුදෙව්වරයකු වග ඔහුට දැනගන්නට ලැබුණෙන්, මොර්දෙකයි පමණක් මරා දැමීමේ අදහස සුළු කොට තැකූ හාමාන්, මොර්දෙකයිගේ මුළු ජනතාව ම, අහෂ්වේරොෂ් රාජධානිය මුළුල්ලේ වෙසෙන යුදෙව් ජාතිය ම විනාශ කිරීමේ මඟක් සෙවී ය. අහෂ්වේරොෂ් රජුගේ දොළොස් වන වසරේ, පළමු මස වන නීසාන් මාසයේ ඒ සඳහා නිසි දිනය හා මාසය තීරණය කර ගැනීමට හාමාන් තමා ඉදිරිපිටදී ම පූර් නම් වූ පස ඇට දැමීම කරවී ය. පස ඇටය වැටුණේ, දොළොස් වන මාසය වන අදාර් මාසයට ය. ඉන්පසු අහෂ්වේරොෂ් රජු ඇමතූ හාමාන්, “ඔබගේ රාජධානියේ ප්‍රාන්ත සියල්ල පුරා විසිරී, අනිකුත් ජනයා අතර පැතිරී සිටින ජන කොටසක් සිටී. ඔවුන්ගේ නීති-රීති අන් හැම ජන කොටසකට ම වඩා වෙනස්; රජ්ජුරුවන්ගේ නීති-රීතිවලට ඔවුන් කීකරු නො වේ. එබැවින් ඔවුන්ගේ පැවැත්ම රජුගේ යහපත පිණිස නො වෙයි. රජු කැමති නම්, ඔවුන් විනාශ කර දැමීමට නියෝගයක් නිකුත් කෙරෙත්වා. එවිට, රජුගේ එම කාර්යය කරවන්නන් අතට රිදී තලෙන්ත දස දහසක් මම දෙන්නෙමි. රාජ්‍යයේ භාණ්ඩාගාරයට ඒවා දැමිය හැකි යැ” යි පැවසී ය. එවිට රජු තම අතේ වූ පේරැස් මුද්ද ගලවා, යුදෙව්වන්ගේ හතුරා වූ අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්ට දුන්නේ ය. “රිදී ඔබට දී ඇත; ඒ ජනයාත් ඔබටයි. ඔබට හොඳයයි පෙනෙන පරිද්දෙන් ඔවුනට කරන්නැ” යි රජු හාමාන්ට කීවේ ය.

මෙයට අදාළ වීඩියෝ